Wednesday, April 23, 2025
Home » ඉන්දීය විදේශ ලේකම්-ජනපති රනිල් හමුවෙති

ඉන්දීය විදේශ ලේකම්-ජනපති රනිල් හමුවෙති

by gayan
July 13, 2023 1:00 am 0 comment

  • දිගු ඉතිහාසයකට දිව යන ශ්‍රී ලංකා-ඉන්දියා මිතුදම
  • දෙරටටම වාසි සහ ප්‍රතිලාභ හිමිවන කතා-බහක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගු කාලයක පටන් පවතින්නේ මිත්‍රශීළි සම්බන්ධතාවක්. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා ඉන්දියාව වන අතර, දෙරට එකිනෙක වෙන් වන්නේ පෝක් සමුද්‍ර සන්ධියෙනි. දෙරටම භූගෝලීය වශයෙන් දකුණු ආසියාවේ උපක්‍රමශීළිව වැදගත් ස්ථානවල පිහිටා තිබීම හේතුවෙන් ඉන්දියන් සාගරයේ පොදු ආරක්ෂක තත්ත්වයක් නිර්මාණය කිරීම කෙරෙහි දෙරටේම අවධානය යොමුව තිබේ. ඉතිහාසය සහ සංස්කෘතික වශයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වැදගත් සම්බන්ධතා පවතින අතර, එය ආගමික, සංස්කෘතික, සමාජයීය, දේශපාලනික, ආර්ථික ඇතුළු අංශ රැසක් ඔස්සේ දිවයයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සාර්ක් සංවිධානය, දකුණු ආසියා පාරිසරික සහයෝගිතා වැඩසටහන, දකුණු ආසියා වාණිජ එකමුතුව සහ බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානවල සාමාජිකයෝ වෙති. 2000 වසරේ දී දෙරට නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹි අතර, ඒ නිසා 2004 වන විට ඉන්දු – ලංකා වෙළෙඳ ගනුදෙනු ප්‍රමාණය සියයට 128කින් වර්ධනය විය. 2006 වන විට එය සිවු ගුණයකින් වැඩි වූ අතර, දෙරට වෙළෙඳ ගනුදෙනු අගය අමෙරිකානු ඩොලර් බිලියන 2.6ක් පමණ විය. වර්ෂ 2000 – 2004 කාලයේදී, ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත සිදු කළ අපනයන ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 618 සිට අමෙරිකා ඩොලර් බිලියන 1.32 දක්වා සියයට 113ක ප්‍රමාණයකින් වැඩි වූ අතර, ශ්‍රී ලංකාව ඉන්දියාව වෙත සිදු කළ අපනයන ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 44 සිට අමෙරිකා ඩොලර් මිලියන 194ක් දක්වා සියයට 342 පමණ ප්‍රමාණයකින් වැඩි විය. ශ්‍රී ලංකාවේ ආනයනවලින් සියයට 14 ප්‍රමාණයක් ඉන්දියාවෙන් සිදු වන අතර, ශ්‍රී ලංකාවේ අපනයනවලින් සියයට 3.6ක් ඉන්දියාවට සිදු කෙරේ. රටවල් ද්විත්වයම දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුමේ (SAFTA) හවුල්කාරයෝ ද වෙති.

මෙවැනි සබඳතා පවතින ශ්‍රී ලංකාව – ඉන්දියාව මෑතක දී එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. විශේෂයෙන් කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව දැඩි ලෙස මූල්‍ය සහ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව එම අර්බුදයෙන් මුදාගැනීම සඳහා ඉන්දියාව විසින් දුන් සහයෝගය අතිවිශාලය. අමෙරිකානු ඩොලර් බිලියන 4ට වැඩි මූල්‍ය පහුසකම් දෙමින් සමීපතම අසල්වැසියා වශයෙන් ඉන්දියාව සිය මිත්‍රත්වයේ දෑත දිගු කළේය. මේ අතර ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය රාජ්‍ය බැංකුව (State Bank of India), අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා පසුගිය 2022 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දෙන ලද අමෙරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකමේ කාලසීමාව ද දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ඉන්දීය රජය පසුගිය වසරේ දී ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තියට අනුව විවිධ ණය පහසුකම් සහ විනිමය සහයෝගයන් හරහා ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් බිලියන 4ක පමණ විවිධාකාර සහයෝගයන් දී තිබෙන අතර ශ්‍රී ලංකාවට ඉන්දියාව විසින් ලබා දෙන අඛණ්ඩ සහාය, කඩිනමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව සහ ප්‍රතිසාධනය ළඟා කර ගැනීම උදෙසා ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ රැඳී සිටීමට ඉන්දියාව දක්වන දැඩි කැපවීම සඳහා සාක්ෂියක් සපයයි.

මේ ආකාරයෙන් දෙරට අතර සබඳතා ඉහළ තලයක පවතින පසුබිමක එම සබඳතා තවත් අර්ථ ගන්වමින් සහ ඉදිරියේ දී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉන්දීය විදේශ කටයුතු ලේකම් විනේ ක්වාත්‍රා මහතා දෙදින නිල සංචාරයක් සඳහා පසුගියදා (10) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ මහතා සමඟ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් කීපදෙනෙකු ද මේ සංචාරයට එක්ව සිටි අතර, එහිදී ඒ මහතා ශ්‍රී ලංකා රජය සමඟ ඵලදායී සාකච්ඡාවල නිරත විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ ලේකම් අරුණි විජයවර්ධන මහත්ම මහත්මීන් මේ හමුවට එක්වූහ.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩි දියුණු කර ගනිමින්, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් ඉදිරි ආර්ථික සහ සමාජයීය අරමුණු ජය ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන අතර, මෙරට ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම්වරයා දැනුම්වත් කර ඇත. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අසල්වැසි මිත්‍ර රාජ්‍යය ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දුන් අඛණ්ඩ සහාය ද ඇගයීමට ලක්කර තිබෙන අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ඉන්දීය නිල සංචාරයේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අතර ඉන්දීය විදේශ ලේකම්වරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ අතර, එහිදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබේ. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ ඉන්දීය විදේශ කටයුතු ලේකම් විනේ ක්වාත්‍රා මහතා, Òමගේ මේ කෙටි සංචාරය අතරතුර අපට ළඟා කර ගන්නට හැකි වූ දේ පිළිබඳව ඔබ සමඟ බෙදා ගන්නවා. මා ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 10දා රාත්‍රියේ . පෙරේදා (11) උදෑසන මා විදේශ ඇමැතිවරයා, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ ලේකම්වරිය හමුවුණා. දිවා භෝජනය අතරතුර අමාත්‍යවරු කීප දෙනෙකු හමුවීමේ අවස්ථාව උදාවුණා.

මගේ සංචාරයේ අරමුණ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමයි. ශ්‍රී ලංකා නායකත්වය සහ විදේශ අමාත්‍යාංශය සමඟ මාගේ සාකච්ඡාවන්හි දී අවධානය යොමු කෙරුණේ ඉදිරියේ දී සිදු වීමට නියමිත ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය සැබවින්ම සම්බන්ධතාවයේ ධනාත්මක පරිවර්තනයක ලක්ෂ්‍යයක් වන බව සහතික කිරීම සම්බන්ධයෙනුයි. එම සංචාරයට පෙර අපට ඉදිරියට ගෙන යා හැකි ප්‍රධාන සහයෝගිතා අංශ, සංචාරය පිළිබඳව කතා කිරීමේ දී ශ්‍රී ලංකා නායකත්වයේ ප්‍රමුඛතා, සම්බන්ධතාව පිළිබඳ අපගේ නායකත්වයේ දෘෂ්ටිකෝණය, සබඳතාවයේ ශක්තිය, සබඳතාවයේ සහයෝගිතාවයේ විවිධ අංශ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහයෝගිතාවයේ සමස්ත පරාසයේ ඉදිරි වසරවල අපගේ සහයෝගිතාවයේ විවිධ අංශ මෙහි දී සාකච්ඡා කළා.

මා පැවසූ පරිදි, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතිශය සාර්ථක සංචාරයක් වන බව සහතික කිරීම අපගේ අරමුණයි. එතුමා හොඳින් දන්නා නායකයෙක් වගේම සම්බන්ධතාවට ඉතා ශක්තිමත්ව උපකාර කරන නායකයෙක්. ශ්‍රී ලංකාව විවිධ අභියෝගයන්ට මුහුණ දුන් පසුගිය මාස 14 -16 තුළ අපි ඉතා හොඳින් එක්ව සහයෝගයෙන් වැඩ කළා. එතුමා ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දියාව සූදානමින් සිටින බව මට සහතික කරන්න පුළුවන්. ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය අපි මහත් උනන්දුවකින් අපේක්ෂා කරනවා. එතුමාගේ සංචාරය සාර්ථක එකක් කිරීමට මෙන්ම අපගේ සම්බන්ධතාව ද එවැනිම අයුරකින් සාර්ථක කිරීමට අප අපේක්ෂා කරනවාÓ යැයි පැවසීය.

ශ්‍රී ලංකා – ඉන්දියා සබඳතාවලට නව පරිච්ඡේදයක් එක් කරමින් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දූත කණ්ඩායම සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියාව බලා නික්ම ගියහ. දෙරට අතර සබඳතා නව තලයකට ගෙන යෑම වෙනුවෙන් දැනටමත් දෙරටේ රජයන්හි විශේෂ අවධානය යොමුව තිබේ. යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් කුමන මතයක සිටිය ද ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සහාය අවශ්‍ය මොහොතක ඉන්දියාව දුන් සහාය පිළිබඳව ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන් සැමගේ ඇගයීමට ලක්විය යුතුය. ආර්ථික වශයෙන්, මූල්‍ය වශයෙන් වැටී සිටි මොහොතක ඉන් ඉදිරියට ගමන් කිරීම සඳහා ඉන්දියාව ලබා දුන් ශක්තිය අතිමහත්ය. එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගනිමින් දෙරටම නිසි අවබෝධයකින් කටයුතු කරන්නේ නම් එය දෙරටේම හිතසුව පිණිස වනු නොඅනුමානයි.

සටහන

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT