සැකකාර මහප්පා කුඩු එක්ක දැලේ
වතුර බේසමක ගිල්වමින් කෲරත්වයට පත් කළ කුඩා දරුවා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවෙසකින් සොයාගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස මූලස්ථානය සඳහන් කළේය.
සිව් හැවිරිදි එම පිරිමි දරුවා මේ වන විට ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි නිලධාරියෙක් කීය. පුද්ගලයකු වතුර බේසමක කුඩා දරුවකු ගිල්වමින් කෲරත්වයට පත් කරන අයුරු සමාජ මාධ්‍ය ජාලාවල ඉකුත් දින කිහිපය තුළ ප්‍රචාරය වූ දර්ශන අනුව කාන්තා අපයෝජන නිවාරණ මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කාන් ඩිපන් මහතා සිදු කළ පරිගණක විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවෙසකින් එම දරුවා සොයාගෙන තිබේ. දරුවාගේ පියා හෘදයාබාධයකින් මියගොස් ඇති අතර, මව මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියදී දරුවාගේ ලොකු අම්මා භාරයේ සිටි දරුවා මහප්පා විසින් මෙසේ කෲරත්වයට පත් කරනු ලැබ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම පුද්ගලයා හොරයින් මත්කුඩු සමඟ වැල්ලම්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාර ගත කර ඇති බව වැඩිදුරටත් අනාවරණය විය. කුඩා දරුවා අධිකරණ වෛද්‍යවරයකු වෙත ද ඉදිරිපත් කෙරිණ.
දරුවා සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්, පරිවාස නිලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන් එක්ව සාකච්ඡා කර දරුවාගේ අනාගත සුබසාධනය උදෙසා තීරණයක් ගැනීමට එකඟතාවයක් ඇති වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.