රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුවෙන් ලැබෙන වාහන බලපත්රත් පූජා කරලා
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් දේශන පැවැත්වීමට යොදා ගන්නා ඔහුගේ ආගමික නිකායට අයත් කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි ‘මිරැකල් ඩෝම්’ ශාලාව ඉදි කිරීමේදී අරමුදල් සැපයූ පුද්ගලයන් 18,000කගේ පමණ ලේඛනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ලැබී තිබේ.
ඒ එම පුද්ගලයන් කොපමණ ප්‍රමාණයන්ගෙන් මුදල් ලබා දීම් කර තිබේදැයි යන්න ද සමඟිනි. එම ලේඛනයට අනුව පෙනී ගොස් ඇත්තේ ඇදහිය නොහැකි පුද්ගලයන් පවා විශාල වශයෙන් මෙම ඉදි කිරීමට මුදල් පරිත්‍යාග කර ඇති බවය.
මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීමට අනුග්‍රහය දැක්වූ ජෙරොම්ගේ අනුගාමිකයන් අතර ඉහළ පුටුවල සිටින රාජ්‍ය නිලධාරීන් ද රැසක් සිටින බව පෙනී ගොස් ඇත.
ජෙරොම්ගේ අනුගාමිකයන් වන ඇතැම් රාජ්‍ය නිලධාරීන් තමන්ට ආණ්ඩුවෙන් ලැබෙන වාහන බලපත්‍ර පවා විකුණා ඒ මුදල් සියල්ලක්ම මෙම ‘මිරැකල් ඩෝම්’ ශාලාව ඉදි කිරීමට ආධාර ලෙස ලබා දී ඇති බව ද විමර්ශන කණ්ඩායම්වලට පෙනී ගොස් ඇත.
මෙසේ ‘මිරැකල් ඩෝම්’ ඉදි කිරීමට ආධාර දුන් අනුගාමිකයන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිටින්නේ සූදානමින් බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
“අපේ ජීවිතේ ලොකු වෙනසක් ඇති වුණා. ෆාස්ටර් ජෙරොම්ගේ ආශීර්වාදවලින්” යැයි ඒ බෝහෝ අය පවසන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
දේවගැති ජෙරොම් සම්බන්ධයෙන් කෙෙරන විමර්ශනවලට අදාළව මෙතෙක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන ඇත්තේ පුද්ගලයන් 50 දෙනකුගෙන් පමණි. ඒ අය අතර සිටින්නේ ජෙරොම්ගේ පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ මෙම ආගමික නිකායට සම්බන්ධ සමාගම්වල සේවකයන් බව ද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ