Wednesday, April 23, 2025
Home » අත්දැකීම් ඇති නිලධාරීන් අස්වැසුම සමීක්ෂණයට යොදවන්න

අත්දැකීම් ඇති නිලධාරීන් අස්වැසුම සමීක්ෂණයට යොදවන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක

by gayan
July 13, 2023 1:00 am 0 comment

  • ‘අස්වැසුම’ වැඩසටහනට සහනාධාරලාභීන් ඉතා නිවැරැදිව තෝරා ගැනීමට උත්සාහ කිරීම ඉතාම හොඳයි.
  • සහනාධාරය දේශපාලන ආයුධයක් කර ගන්න එපා.
  • වෙනත් ව්‍යාපාරවල මුදල් වාණිජ බැංකු හරහා ගියොත් ඒ ව්‍යාපාර කඩා වැටෙනවා.

දිළිඳු ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීමෙහිලා මෑත කාලයේ විවිධ ආණ්ඩු විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. 1994 වසරේ බලයට පැමිණි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව විසින් දිළිඳු ජනතාව ඉලක්ක කරගෙන සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළ අතර එය අද දක්වාම විවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක විය. කෙසේ වුවද වත්මන් ආණ්ඩුව ”අස්වැසුම” නමින් සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන අතර එය සමෘද්ධි ව්‍යාපාරයේම කොටසක් ද එසේ නොමැති නම් අලුත්ම වැඩසටහනක් ද යන්න තවමත් ගැටලු සහගතය. මෙවැනි තත්ත්වයක් තුළ “සමෘද්ධි” ව්‍යාපාරයට සිදුවන්නේ කුමක් ද ? එහි ක්‍රියාකාරිත්වයට නව වැඩසටහන ඔස්සේ සිදුවන්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා සමඟ “දිනමිණ” කළ සංවාදයකි මේ.

“සමෘද්ධි” ව්‍යාපාරය ආරම්භ කිරීමේ අවශ්‍යතාවය සහ එහි ආරම්භය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?

1994 වසරේ “සමෘද්ධි” ජාතික වැඩසටහන එන්න පෙර ජනසවිය වැඩසටහන තිබුණා. ඒ යටතේ ජනාධිපති ප්‍රේමදාස මහතා සිතුවේ මිනිසුන්ට වැඩියෙන් සල්ලි ටිකක් දෙන්න ඕනෑ කියලයි. ඒ අනුව වැඩියෙන් වියදම් කළා. ඒ අනුව රටේ සාමාන්‍ය ජනතාව භාවිතා කරන භාණ්ඩවල මිල ඉහළ යනවා. එවිට මිනිසුන් නිෂ්පාදනය ඉහළ දානවා. ඒ දේ එවකට ජනාධිපතිවරයා විසින් අපේක්ෂා කළා.

දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක තෝරා ගත් පවුල් කිහිපයකට ජනසවිය ප්‍රතිලාභ ලබා දුන්නා. ඒ නිසා එය ආර්ථිකයට එතරම් දැනුණේ නැහැ. නමුත්, ඒ දර්ශනය, වැඩපිළිවෙළ හොඳයි. ඒත්, විශාල යමක් කරන්න නොහැකි වුණා. සමෘද්ධිය අපි පටන් ගන්න විට දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් කිහිපයක් ලෝකයේ තිබුණා. ඊශ්‍රායලයේ ” කිබුට්ෂු ” වැඩසටහන ඒ වගේ එකක්. එහි සමිති තිබුණා. එහි සාමාජිකයන්ගේ මුදල් සියල්ල එක් පෙට්ටියකට දානවා. පසුව එය බැංකුවට දානවා.

ශ්‍රී ලංකාවේ සණස, සර්වෝදය වැනි වැඩසටහන් තිබුණා. ඒ අතරතුර ගම්වල පොඩි පොඩි වැඩසටහන් ද තිබුණා. ඒවා ගැනත් අපි බැලුවා. අපේ පළමු සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් මිත්‍රරත්න මහතා හම්බන්තොට සිටිය දී සමෘද්ධි සමිති වගේ කුඩා සමිති නිර්මාණය කොට මුදල් එකතු කරමින් පොඩි බැංකු ව්‍යාපාරයක් ගොඩනඟා තිබුණා. කොහොම හරි මේ සියලු අත්දැකීම් සමඟ දුප්පතුන්ගේ දුප්පත්කම නැති කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන ශක්තිය ලබාදීම අරමුණු කරගනිමින් සමෘද්ධිය ඇති කළා. මේ ජනතාව ණය වෙන, ගෙවල් දොරවල් උකස් තියන, ගිනි පොලී කාරයන් ළඟට යන අවස්ථා දෙස අපි බැලුවා.

දරු උපතක් ඇති වන අවස්ථාවේ විවිධාකාරයෙන් ණය ගන්නවා. අසනීපයක් වුණාම ණය ගන්නවා. මිනිස්සු ණය වෙන වෙලාවන් අපි බැලුවා. උපත, විවාහය, මරණය ආදී අවස්ථාවන් වෙනුවෙන් ගම්වල ජනතාව ණය වෙනවා. මේ සඳහා අවශ්‍ය මුදල්ට ටික දෙන්න අපි සමාජ ආරක්ෂණ අරමුදල ඇති කළා. දුප්පත්කමින් මේ ජනතාව ගලවා ගන්න අවශ්‍ය පරිසරය ඇති කරන්න පියවර ගත්තා. ඒ නිසාම නිවාස අරමුදලක් ස්ථාපිත කළා. ඒ හරහා මේ ජනතාවට හොඳ ගෙදරක් හදා දෙන්න අවශ්‍ය පියවර ගත්තා.

1994 වසරේ දී එවකට පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව විසින් මේ රටේ ආරම්භ කරන සමෘද්ධි ව්‍යාපාරයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ලැබුණා ද ?

අද වනවිට සමෘද්ධි බැංකු 1,090න් හැම මාසයකම රුපියල් 25,000ත් ලක්ෂ 20ත් අතර ණය 25,000ට ආසන්න ගාණක් ලබාදෙනවා. ඒ දෙන්නේ ඇපකාරයන් හෝ දේපළ ඇප නැතිවයි. බැංකුවල රුපියල් බිලියන 200ක පමණ මුදලක් තිබෙනවා. එයින් බිලියන 60 ක් පමණ පසුගිය කොවිඩ් සමයේ ආණ්ඩුවට ණය මුදලක් වශයෙන් ලබා දී තිබෙනවා. නමුත් අද වන විට රුපියල් බිලියන 170ක් පමණ තිබෙනවා. මේ වන විට එම බැංකු ශක්තිමත්. සමෘද්ධි බැංකු අතරින් 115ක් පමණ පසුගිය කොවිඩ් සමයේ යම්කිසි අලාභයක් ලැබුව ද සෙසු සියලු බැංකු ලාභ ලබන තත්ත්වයේ තිබෙනවා.

නිවාස අරමුදලින් හැම මාසයකම නිවාස 350ක් පමණ හදනවා. ලොතරැයියකට අනුව තමයි ඒක කරන්නේ. 314ක් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් ගෙයක් බැඟින් හදනවා. ඒ අනුව මාසයකට නිවාස 350 ක් පමණ රටපුරා ඉදිකරනවා. මේ වැඩපිළිවෙල 1994 වසරේ දී පටන් ගත්තා. ප්‍රධාන කරුණ තමයි, ප්‍රාග්ධනය සපයන ආයතනයක් හදාගන්න ඕන. ඊට සමාජ ආරක්ෂණ දැලක් තිබෙන්න ඕනෑ. ඊට අමතරව දුප්පත්කමින් ගලවා ගන්න පරිසරය වෙනස් කරන්න ඕනෑ. මේ කාරණා සියල්ල සමෘද්ධි ව්‍යාපාරයේ තිබෙනවා.

වත්මන් ආණ්ඩුව “අස්වැසුම” නමින් සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම්. එය සමෘද්ධි ව්‍යාපාරයේම කොටසක්ද?

“අස්වැසුම” වැඩසටහන හරහා සහනාධාරලාභීන් ඉතා නිවැරැදිව තෝරා ගැනීමට උත්සාහ කිරීම ඉතාම හොඳයි. “සමෘද්ධි” ව්‍යාපාරය හරහා රට ආර්ථික වශයෙන් විශාල පිබිදීමකට ලක් වුණා. 2016 වන විට මේ රටේ දුප්පත්කම 4.2%ට පැමිණියා. 2019 වන විට එය 3.8%ක් වුණා. 2015 වසරේ දී ආණ්ඩුව භාර දුන්නේ සියයට 7.3%ක ආර්ථික වර්ධනයක් සමඟයි. 2019 වන විට රටේ ආර්ථික සංවර්ධනය 2.4% දක්වා කඩාගෙන වැටුණා. ඒ නිසා “අස්වැසුම” හරහා මේ ජනතාව තෝරා ගැනීම වෙනුවෙන් සකස් කර තිබෙන නිර්ණායක ඉතාම හොඳයි. එකම දේ තිබුණේ මේ සමීක්ෂණය කරන්න ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්, සංවර්ධන නිලධාරීන් බැහැ කිව්වා. ඒක ඒ අය වරදවා තේරුම් ගත්තා. මේ සම්බන්ධයෙන් ගැසට් එකේ තිබුණේ බොරු තොරතුරු දෙනවා නම්, අධිකරණයෙන් දඬුවම් දෙනවා කියලා. ඒක තමයි දැනටත් තිබෙන නීතිය. බොරු තොරතුරු ලබා දෙනවා නම්, නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒක තිබෙන නීතියක්. නමුත්, මේක ගැසට් එකේ දැක්කම වැරැදි විදියට තේරුම් ගත්තා.

“අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ ක්‍රමය සඳහා පවුල් තෝරා ගැනීමේ දී විශාල ගැටලු ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධව ජනතාවගෙන් දැඩිලෙස චෝදනා එල්ල වෙනවා නේද ?

අත්දැකීම් තිබෙන නිලධාරීන් එක්ක මේ සමීක්ෂණය කරන්න තිබුණා. සමීක්ෂණයක් කරනවා කියන්නේ, ලෙහෙසි දෙයක් නොවෙයි. මම වෘත්තීය සමීක්ෂණ නිලධාරියෙක්. අහඹු සමීක්ෂණ, පූර්ණ සමීක්ෂණ හැම එකක්ම අපි අවධානය යොමු කළ යුතු වෙනවා. මනුස්සයෙක් එක්ක කතා කරන විට ආදායම ගැන කතා කරන්න කලින් වියදම සම්බන්ධයෙන් කතා කළ යුතු වෙනවා. සමීක්ෂණය ඉතාම සූක්ෂම ආකාරයෙන් කරන්න ඕනෑ. නමුත්, ඒක කෙරුණේ නැහැ. ඒක කරලා මේ සමෘද්ධි නිලධාරීන්, සමෘදධි බැංකු, සමාජ ආරක්ෂණ අරමුදල සහ නිවාස අරමුදල රැකගෙන පරිස්සමින් ඉදිරියට යා යුතු වෙනවා.

මරණයක්, විවාහයක්, අසනීපයක්, දරු උපතක් වෙනුවෙන් එයින් ප්‍රයෝජන ගන්න පුළුවන්. තව රුපියල් 10ක් දැම්මා නිවාස අරමුදලට දුන්නා. ඇතැමුන් කැමැත්තෙන් සමෘද්ධි කාඩ්පත නැවත රජයට භාර දුන්නා. මගේ අතට එහෙම කාඩ්පත භාර දුන් අවස්ථා තිබෙනවා. නමුත්, ඊට පස්සේ මේ සහනාධාරය දේශපාලන ආයුධයක් කර ගත්තා. පක්ෂ කාර්යාලයකින් 433,000ක ලැයිස්තුවක් සමෘද්ධියට එව්වා. ඒ පක්ෂයේ අයට අසාධාරණයක් වෙලා තිබෙනවා කියා ලැයිස්තුවක් එව්වා. එවැනි ලොකු විකෘත්තියක් වුණා. ඒ නිසා මෙය හදන එක හොඳයි. නමුත්, දුප්පත්කම තුරන් කරන්න අත්‍යවශ්‍ය වන මේ බැංකු ව්‍යාපාරය, සමාජ ආරක්ෂණ ජාලය, නිවාස අරමුදල වගේ දේවල් රැකගෙන කටයුතු කළ යුතු වෙනවා.

“අස්වැසුම” නමින් මේ වැඩසටහන පැමිණෙනවා නම් “සමෘද්ධිය”ට සිදු වන්නේ කුමක්ද?

යම් කෙනෙකු හිතනවා නම්, “සමෘද්ධි” බැංකුවල මුදල් ටික වෙනත් වාණිජ බැංකු හරහා මේ අයගේ අතට යවනවා කියලා, මේ ව්‍යාපාරය කඩා වැටෙනවා. ඒ නිසා මේ “සමෘද්ධි” බැංකු අල්ලගෙන බැංකුවත් එක්ක කටයුතු කළ යුතු වෙනවා. අනිවාර්ය ඉතිරි කිරීම් සහනාධාරය හරහාම තමයි යන්න ඕනෑ. සමාජ ආරක්ෂණ අරමුදලට යන්නෙත් සහනාධාරයෙන්. නිවාස අරමුදලට යන්නෙත් සහනාධාරයෙන්. ඒ නිසා මේ ව්‍යාපාරය ආරක්ෂා කරගෙන කටයුතු කළ යුතු වෙනවා. මගෙන් පසුව මේ සමෘද්ධිය බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට ගියාට පසුව ඒ මහතා ඒක “දිවිනැඟුම” කළා.

නමුත්, මම යළි අරගෙන “සමෘද්ධිය” කළා. බැසිල් රාජපක්ෂ මහතා මේ ව්‍යාපාරයේ කටයුතු ඒ විදියටම ඉස්සරහට අරන් ගියා. සමෘද්ධි නිලධාරීන් රාජ්‍ය සේවයේ නොවෙයි සිටියේ. ඒක ඔවුන්ට විශාල ප්‍රශ්නයක් වුණා. සංස්ථා සේවයේ සිටියේ. ඒ නිසාම “දිවිනැඟුම” දෙපාර්තමේන්තුව හදලා ඔවුන් රාජ්‍ය සේවයට ඇතුළත් කළා. මේ වැඩපිළිවෙළට ලෝක බැංකුව උදව් කරනවා. ඒ නිසා ශ්‍රී ලංකා රජයට විශාල පහසුවක් වෙනවා. මේ තත්ත්වය නිසා තමයි 15,000ක් දෙන්න යන්නේ. ලක්ෂ 4කට 15,000ක් දෙනවා. ඊළඟ ලක්ෂ 4ට 8,500ක් දෙනවා. ඊළඟ ලක්ෂ 4ට 5000ක් දෙනවා.

ඊ ළඟ ලක්ෂ 4ට 2,500ක් දෙනවා. එලෙස ගෙවීම් කරනවා. එයින් අනිවාර්යය ඉතුරුම් ලෙස යම්කිසි ප්‍රමාණයක් අනිවාර්යයෙන් බැංකුවට යා යුතු වෙනවා. සමාජ ආරක්ෂණ අරමුදලටත් නිවාස අරමුදලටත් එයින් කොටසක් යනවා. හැම සමෘද්ධි බැංකුවක්ම ලාභයි. මේ සේවකයන්ගේ පඩි බැංකුවෙන් ගෙව්වත් ලාභයි.

මහින්ද අලුත්ගෙදර

ඡායාරූප – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT