Tuesday, April 22, 2025
Home » පැන්ඩෝරා යළි ඒ විමානයට යන්න

පැන්ඩෝරා යළි ඒ විමානයට යන්න

by gayan
July 13, 2023 1:00 am 0 comment

එක්කෝ පැන්ඩෝරා සොයාගෙන ඒ ආගමනයට දඬුවම් දිය යුතුය. නැතහොත් යළි ‘එතුමිය’ පිටත් කළ යුතු වෙයි. අපේ විශ්වකර්මයා බඳු, වැඩකාරයෙකු ග්‍රීක දේව කතාහි එයි. සියලුම ගැජට් ආදී පොඩි එකේ සිට නෙළුම් කුලුන වැනි අලුත් වැඩ සඳහා ගේම භාර වන්නේ හෙපිස්ටස් හටය. ලොකුම දෙවියා වන සියුස්ගෙම පුතෙක් බැවින් ලැබී ඇති තැන ද ඉහළය. ඕඩර් එමට ඇතත්, බාසුන්නැහේලාට අමුතු අමුතු ඕඩර් ද ඉඳහිට එයි. එදා පිය දෙවියන් වහන්සේ හෙපිස්ටස්ට දුන්නේ මාර ඕඩරයකි. “වහාම මට දුවෙක් හදලා දෙන්න” මේ දිව්‍ය ලෝකයේ වුවමනාවක් නොවේ. එහෙ, ඒ වන විටත් දිව්‍යාංගනාවෝ පහළ වී සිටියාහ. මේ අලුත් නිර්මාණය හදන්නේ මහ පොළොවට එවීම සඳහාය. එහෙම එවපු කෙනාගේ නම පැන්ඩෝරාය.

වනිතාව මහ පොළොවට බසින ලද්දේ එලෙසිනි. එහෙම වටිනා දෙයකට අත්ව ඇති විපත ගැන පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියවෙන යමක් ලෙස මේ තීරුව පිළිබඳව යමෙකු සිතනවා ඇත. එහෙම පුරුෂ ගතිකයක් මේ සම්මජාතියේ ශ්‍රී ලංකාවේ පැවතිය නොහැක. සියලු පුත්හු අම්මාගේ උකුලෙන් මිය යනතුරු බසින්නේ නැත. උකුලට නාවත් එදා වගේ, ඒ සියලු දෙනා මිනී පෙටිටියේ සයනය කරන මොහොත දක්වා වන අනර්ඝම චරිතය අම්මා වේ. බිරිය, දියණිය සහ සොහොයුරිය ද එසේය. ඒ නිසා, මේ ස්ථාන මතක් කළ කල්හි, අර දෘෂ්ටිකෝණය දිය වී යන්නේය.

අද අපේ කතාවේ පාත්‍ර වර්ගයා, සම්බාහන ආයතන ළඳුන්ය. ඔය වර්ගයේ අයකුගේ ඇඟක් මිරිකනවා කියන්නේ කුලප්පු වූ වස්සෙකුගේ අඟක් අත ගානවා වැනි වැඩකි. ඔය තැන්වලට එන්නේ, උළුක්කු, සන්ධි වේදනා ආදිය සඳහා අවශ්‍ය සම්බාහන ප්‍රතිකාර ලබා ගැනීමට නොවේ. පැයක කාලයෙන් සමහරු ඉන්නේ විනාඩි දහයක පමණ කාලයකි. ඒ මොක’දැයි අනුමාන ඥානයෙන් දැන කියා ගත යුතුය. මේ තීරුව දරු දැරියෝ ද කියවන බැවින්, ඒ ගැන ඊට වඩා යමක් නොලියමු. එහෙම දේ සඳහා ‘අරකි මිරිකි’ කරන්නේ ජීවන, අරගලයට මිස, අන් යමක් සඳහා නොවේ. එසේ වුවත් විනේ කටින වුන්, කනේ කොහොඹ මිරිකීම නවත්වන්නේ නැති හෙයින්, මේ රස්සාව කර, යහතින් ගෙදර යා නොහැකිය. දෙතුන් දවසක් ඔය රැකියාවට, ඈත පළාතකට ගිය ද, ජීවිතයේ ඊළඟ කාලයම නන්නත්තාර වෙන තරමට, එහි අවදානම භයානකය.

මෙහෙම තැන් දැන් රට පුරාම පිරී ඉතිරී යමින් තිබේ. මේ රටට එන සංචාරකයෙකු මේ ස්පා බෝඩ් දකින කල්හි සිතනු ඇත්තේ ‘කොයි තරම් ඇඟ පත මහන්සි වී වැඩ කරන ජනතාවක් මේ රටේ ඉන්නවාද’ කියා විය යුතුය. ඒ තරමට ස්පා රටේ ඇත. ස්වීප් එකක් ගැනීමට කඩයක් සොයා ගන්නවාට වඩා, අරකි මිරිකී පාරක් දමා ගැනීමට පොට් එකක් සොයා ගැනීම පහසුය. අනික ඒවායේ තඩි බෝඩ් ගසා ඇති අන්දමය. රෑට නම් ඒවායේ තොරණක මෙන් ලයිට් ද දමා තිබේ. ඒ බෝඩ්හි ඇත්තේ, සුරූපී ලලනාවෝය. ආයුර්වේදයට අයිති සංකේතයන්ය. එහෙම තිබුණාට, ඕවාට එන්නෙම පිරිමිය. නැත්තේ ද තෙල් බෙහෙත්ය. ඇත්තේ කුමක්ද කියා සිතා ගත හැක්කේය.

එවැනි හොර පොට් ගණනාවක, අශෝභන බෝඩ් පසුගියදා කඩුවෙල නගරයෙන් ඉවත් කළේය. එහෙම බෝඩ් තියෙන පාරක, ගෙදර පොඩි එකා සමඟ යන විට ඇඟේ ලේ නැත. ‘මේ මොකක්ද ?’ යැයි අම්මා තාත්තාගෙන් ඇසුව හොත්, බොරු කියා මිස ඇත්ත කියා ගමන යන්නට බැරිය. වෙන එකක් තියා එහෙම තඩි බෝඩ් එකක් ඇති තැනක එහා පැත්තේ පොත් කඩේට ගියත් වෙන්නේ, කිතුල් ගහ යට සිට කිරි බිව් එකාට වූ දේය. දැන් හැම එකක්ම ෆෝන් එකෙන් වීඩියෝ කරන බැවින්, ගමේ තරහ කාරයෙකුට, එහෙම අවස්ථාවක් ඡායාරූපයට නඟා, ෆේස් බුක් ද දැමිය හැකිය.

මේ එළියේ සිටින අපි. ඒ ‘පොට්’ හමුවේ විඳවන හැටිය. ඇතුළේ සිටින ‘පැන්ඩෝරාවෝ’ කොහොම විඳවිල්ලක් විඳවනවා ඇද්ද…? හිටි හැටියේම, මේවා පොලිසියෙන් වට කරන්නේය. එක්කෝ දවස් දෙක තුනකින්, ‘උඩට’ ගාන ගෙවා නැත. නැත්නම් ළමයි යවා නැත. එහෙම පැන්න විට අර ළඳුන් ජීප් එකට පටවන්නේ, ලොකුම හොරුන් අසු වූ සේය. ඒවාට නිතිපතා යන එකාලම, ඒ ළඳුන් වෙත සරදම්ව සිනාසෙති. ඒ සඳහා කියන කතා ද අසා සිටීමට නොහැකිය. ඇඟ ද පුදා, හම්බු වෙන ගණ‍ෙනන් කොටසක් ‘මැඩම්ට’ ද පුදා, ජීවිතය ගැට ගසා ගැනීම සඳහා දුක් විඳින මේ වනිතාවෝ එහෙම හොරු රැලක් සේ රැගෙන නොයන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටිමු. මේ ආසන්න කාලයේ එහෙම ස්ථාන ගණනාවක් පොලිසියෙන් වට කළේය. ඒවා ගැන අපිට ප්‍රශ්න නැත. හැබැයි ඒ ළඳුන්ගේ ගෞරවයට හානි වන පරිදි මහ මඟ ‘දක්කා’ගෙන නොයන ලෙස ඉල්ලා සිටිමු. මේ වැඩේ බැරි නම් එල්ලී මැරෙන්නට ඒ අය ඉපදී නැත. අර ග්‍රීක කතාව අනුව, මහා දෙවි සියුස්, සිය විශ්වකර්ම පුත් හෙපිස්ටස් ලවා, නිමවා පැන්ඩෝරා එවන ලද්දේ, ඔහොම පාරේ ලැජ්ජා කරන්නට නොවේ. කොතැනක හෝ වැරැදි තිබෙන්නට පුළුවන. එසේ වුවත්, ඒ සඳහා ජීවිතයම වන්දියක් කර ගත යුතු නැත. අල්ලන පොට්වලින්, ඒ ලලනාවෝ රැගෙන එන්නේ, රිසානාට සේ ‘ලේ වන්දිය’ බැරි නම් බෙල්ල කපනවා, කියනා තාලයටය. එහෙම ගල් ගැසිය හැකි අය, ඔය තැන්හි, හිඟය. එහෙම අතරේ නවගමුව පන්සලේ පරිදි මේ ළඳුන් වෙත නොසලකන ලෙස සිදු කරන අවධාරණයෙන් අදට නිමි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT