ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස නව පත්වීම් ලද අජිත් අගාකාර්ට ඉන්දීය රුපියල් කෝටි 3ක වාර්ෂික වැටුපක් ලබාදීමට එරට ක්‍රිකට් ආයතනය එකඟ වෙයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 11.35ක් වන අතර තේරීම් කමිටු සභාපතිවරයෙකුට ගෙවන ලොව දැවැන්තම මුදල වේ. මෙයට පෙර ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ චේතන් ෂර්මාට වසරකට ඉන්දීය රුපියල් කෝටියක වැටුපක් ලබාදී තිබුණ ද, අජිත් අගාකාර් තෝරා ගැනීමේදී මෙම වැටුප් සංශෝධනයට දෙපාර්ශ්වය එකඟ වී ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කරන ශිව් සුන්දර් දාස්, සුබ්‍රෝටෝ බැනර්ජි, ශ්‍රීධරන් සරත් සහ සලිල් අංකෝලා යන සිවු දෙනාට වාර්ෂිකව ඉන්දීය රුපියල් ලක්ෂ 90 බැගින් ගෙවීම් කටයුතු කළ ද, ඔවුන්ගේ වැටුප් ද වැඩි වනු ඇතැයි පැවැසේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර පැවති සම්ප්‍රදායන් රැසක් බිඳ දමා හිටපු ඉන්දීය වේග පන්දු යවන්නා ප්‍රමුඛ නව තේරීම් කමිටුවට විශේෂත්වයක් කොට තිබේ.
අජිත් අගාකාර් මේවන විටත් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් පිලේ සහය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළේය. ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස පත්වීමෙන් අනතුරුව ඔහුට ක්‍රිකට් සම්බන්ධ මාධ්‍ය කටයුතුවලින් හා පුහුණුකරු භූමිකාවෙන් ඉවත්වීමට සිදු වේ. නව තේරීම් කමිටුවේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ඉන්දීය විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කිරීම පළමු කාර්ය වේ.