Monday, April 21, 2025
Home » මත්ලෝලියා තම සිව්මස් බිලින්දා දස හැවිරිදි නොදරුවකුට දී පලා ගිහින්

මත්ලෝලියා තම සිව්මස් බිලින්දා දස හැවිරිදි නොදරුවකුට දී පලා ගිහින්

by mahesh
July 12, 2023 1:10 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

හොරණ මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂක එල් ඩි ලියනගේ මහත්මිය බිලිඳා සිය භාරයට ගෙන පොලිසිය වෙත රැගෙන එමින්

හොරණ ගල් ඒදඬුගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණි මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයෙක් සිව් මසක කුඩා බිලිඳෙකු දස හැවිරිදි දරුවකු වෙත භාරදී පලාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි.

තම පුතු නිවසේ තනිවම සිටි අවස්ථාවේදී කුඩා දරුවෙකු රැගෙන පැමිණි පුද්ගලයකු ඔහු ඉක්මනට පැමිණෙන බවට පවසා තම පුතු වෙත කුඩා බිලිඳෙකු ලබාදී පිටව ගොස් ඇතැයි ද පැය දෙකකට අධික කාලයක් ගත වුවද එම පුද්ගලයා පැමිණ නැතැයි පවසමින් කාන්තාවක් හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හමුවී ඊයේ (11) සවස පවසා තිබූ බව පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එල් ඩි ලියනගේ මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නිවස වෙත පිටත් කර යවා බිලිඳා පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.

බිලිඳා දමා ගිය පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී එම පුද්ගලයාගේ මිත්තණිය ඊට මඳක් ඈතින් පිහිටා තිබෙන නිවසක වෙසෙන බවත් අනාවරණ වූ බව පොලිසිය කියයි.

ඒ අනුව මිත්තණිය පොලීසිය වෙත කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම දරුවා තම දියණියගේ පුතාගේ පුතා බවට සැක කරන බවත් නමුත් කිසිම දවසක දරුවා දැක නොතිබූ බවත් ඔවුන් අඟුරුවාතොට නාර්තුපාන ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් ඇය පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත.

දරුවාගේ මව හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන්නෙක් බවට ද කරන්නියක බවට ද අනාවරණය වූ බවත් ඇය සොයා ගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටින බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

හොදින් වැඩී තිබූ බිලිඳා ඒ මොහොතේම හොරණ මූලික රෝහල වෙත යොමු කිරීමට යුතු කළ බව එම පොලිස් නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවාය.

බිලිඳා දස හැවිරිදි දරුවා භාරයේ තබා පලාගිය පුද්ගලයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවට තොරතුරු ලැබී ඇතැයි පවසන පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක ලියනගේ පොලිස් කොස්තාපල් 15447 ශ්‍රීයන්ත මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT