තම අමාත්‍යංශය යටතේ ඇති සෑම ආයතන ප්‍රධානියෙකුම තමන්ගේ ආයතනය තුලින් වාර්ෂිකව ආදායම ඉපයීම සම්බන්ධයෙන් සැලසුමක් සැකසිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එසේ සැලසුම් සකස්කර ඒවා ක්‍රියාත්මක කර ආයතනවල ප්‍රගතියක් නොපෙන්වන නිළධාරීන් සම්බන්ධයෙන් තීන්දු ගැනීමට තමන් පසුබට නොවන බවද අමාත්‍යවරයා කීවේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ රජයේ කර්මාන්තශාලා වෘත්තීය සමිති සමඟ බත්තරමුල්ල, අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (12) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ වර්තමාන තත්ත්වය හා ඉන් පැන නැගී ඇති සේවක ගැටළු ඉදිරිපත් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි.
කොලොන්නාවේ පිහිටා ඇති රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවට වසර සියයකට ආසන්න ඉතිහාසයක් ඇත.
පොලිස් නිළධාරීන්ගේ නිළ ඇඳුමේ පළඳවන නිළ මුද්‍රාවන්, වැව් සඳහා වාන්දොරටු නිෂ්පාදනය, රෝහල් උපකරණ, මාංචු කූට්ටම්, ඡන්ද පෙට්ටි ආදිය නිපදවනු ලබන්නේ මෙම දෙපාර්තමේන්තුව මගිනි. එහෙත් ඉකුත් සමයේ පැවැති අයහපත් පාලනය හා දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඇතැම් ඉහළ නිළධාරීන්ගේ අක්‍රමවත් පාලනය හේතුවෙන් මේ වනවිට දෙපාර්තමේන්තුව දැඩි අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇති බව මෙහිදී වෘත්තීය සමිති එකමුතුව අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.
ඒ හේතුවෙන් රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව තවදුරටත් පවත්වාගෙන යෑම අසීරු බව පෙන්වා දුන් වෘත්තීය සමිති නියෝජිතයෝ දෙපාර්තමේන්තුව ආරක්ෂා කර ගැනීමට නම් එය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවද පෙන්වා දුන්හ.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ එක්වරම එවන්තීරණයකට නොගොස් දෙපාර්තමේන්තුව ආරක්ෂා කළ යුතු ක්‍රියාමාර්ග ගැන අවධානය යොමුකරමින් යම් වැඩ පිළිවෙලක් සැකසිය යුතු බවයි. ඒ සඳහා ආයතනයේ සේවයේ නියුතු සියළුම සේවක සංඛ්‍යාව හා එමඟින් සිදුකරනු ලබන නිෂ්පාදනයන් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසයි.