පඬු කරඳ ගස ඉවත් කරනු ලැබුවේ කැබිනට් අනුමැතියක් සහිතව යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඊයේ (11) පැවසීය.
මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියට බාධාවක්ව පැවැති මතභේදයට තුඩුදුන් පඬු කරඳ ශාකය කපා ඉවත් කිරීම පිළිබඳව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
එහිදී ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.
දේශපාලන හා වෙනත් විවිධ හේතූන් මත “අවුරුදු එකසිය ගානක් පරණයි, මේක මෙතනින් ඉවත් කරන්නට දෙන්නෙ නැහැ” කියමින් ඉවත් කිරීමට ඉඩ නොදුන් මෙම ගස ඉතිරි කරමින් මාර්ගය ඉදි කිරීමට අමතර රුපියල් බිලියන 15ක මුදලක අලාභයක් සිදු වනවා.
රට අන්තයටම වැටී තිබෙන අවස්ථාවක වුවත් අධිවේගි මාර්ග කෙසේ හෝ නිම කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන ප්‍රදේශය අවට අවුරුදු 40කට වඩා පැරණි පඬු කරඳ ගස් 15ක් පවතින බව මට වාර්තා වුණා. උස අඩි 12ත් – 15ත් අතර ගස් 25ක් පවතිනවා. අවශ්‍ය ඕනෑම කෙනකුට ව්‍යාපෘතිය භාර නිලධාරීන් එම ගස් පෙන්වීමට සූදානම්. මෙම ගස වෙනුවට ගස් 200ක් නැවත රෝපණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා.
මෙම සියලු කරුණු මා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දුන්නා. මෙය විශාල අපරාධයක්, බොරුවක්, මිථ්‍යාවක් රට පුරා වපුරා සිදු කළ කඩාකප්පල්කාරී තත්ත්වයක් බවත්, අවට පවතින ගස් ප්‍රමාණය පිළිබඳවත්, උද්භිද විද්‍යාඥයන් විසින් ඕනෑ තරම් ශාක ප්‍රමාණයක් වගා කර දිය හැකි බවත් ප්‍රකාශ කර තිබෙන බවත් පෙන්වා දෙමින් මෙම ගස කපා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය මා ඉල්ලා සිටියා. අවශ්‍ය තරම් ප්‍රමාණයක් ගස් වගා කරගත හැකිව තිබියදී බිලියන පහළොවක් පාඩු කර නොගනිමින් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් මෙම ගස කපා ඉවත් කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව මෙම ගස ඉවත් කරනු ලැබුවේ පූර්ණ කැබිනට් අනුමැතිය සහිතවයි. එය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්. මෙවැනි වටිනා තීරණවලට මෙරට විද්වතුන්, රටේ උරුමකරුවන් ඉතිහාසයේ පටන්ම විශාල පරිත්‍යාග සිදු කර තිබෙනවා.
මහවැලි ගඟ උතුරට හැරවීමේ ව්‍යාපෘතියේදී කොත්මලේ දුටුගැමුණු පුරාවෘත්තය හා සම්බන්ධ විශාල පෞරාණික වටිනාකමකින් යුතු වෙහෙර විහාර පැවතුණා. උපනූපන් පරම්පරාවල යහපත වෙනුවෙන් මහවැලි දිය කඳ ලබාදීම උදෙසා එම ගම්වාසීන් සිය පාරම්පරික උරුමයන් අතහැර වෙනත් ස්ථානවල පදිංචි වුණා. අද මහවැලිය ගොඩනැඟී තිබෙන්නේ ඒ ආකාරයෙන්.
පටු අරමුණුවලින් යුතුව කටයුතු කරන සුළු පිරිසකගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ඉඩ ලබාදීමට හැකියාවක් නැහැ. මාගේ ඉල්ලීම පරිදි රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මේ ගස ඉවත් කරනු ලබන අතර, අලුතෙන් රෝපණය කරන ගස් දෙසීය අතුරින් ජනමාධ්‍ය අමාත්‍යාංශ භූමියේ මාධ්‍යවේදීන්ට ද දැක බලාගත හැකි පරිදි පැළයක් රෝපණය කිරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය භූමියේ පැළ කීපයකුත්, සිහිවටනයක් ලෙස මාගේ නිවෙස ඉදිරිපිට පඬු කරඳ පැළ කිහිපයක් රෝපණය කර දෙන ලෙසත් මා ඉල්ලීමක් කළා යැයි ද කීවේය.