Home » විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ තීන්දුව පේරාදෙණියේදී
ෂාෆ්ටර්ගේ මරණය

විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ තීන්දුව පේරාදෙණියේදී

by mahesh
July 12, 2023 1:08 am 0 comment

සිරන්ජනී කුමාරි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ අවසන් තීරණයක් ගැනීම සඳහා පංචපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මේ මස 22 හා 23 දෙදින විශේෂිත සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඊයේ (11) නඩුවේ පාර්ශ්වකරුවන් වෙත දැනුම් දුන්නාය.

ගාල්ල, කරාපිටිය රෝහලේදී පැවැත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ සම්බන්ධ කටයුතු අවසන් කර ඇති බවත් මරණය සම්බන්ධ අවසන් නිගමනයක් ලබා ගැනීම සඳහා විද්වත් මණ්ඩලය දෙදිනක සාකච්ඡා වටයක් පේරාදෙණි විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට සූදානම් කර ඇති බවට තමන්ට ලිඛිතව දැනුම් දී ඇතැයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් කරුණු සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය අදාළ පාර්ශ්වයන් වෙත කරුණු දැනුම් දීම ද සිදු කරන ලෙසට නියෝග කළාය.

සිද්ධිය ඊයේ (11) නැවත කැඳවූ අතර, ෂාෆ්ටර් මහතාගේ මවගේ ලේ සාම්පලවලට අදාළ ජින්ටෙක් වාර්තා මෙතෙක් ලැබී නැති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුවීමට පෙර මාස හයක් ඇතුළත ලබාගත් දුරකතන විශ්ලේෂණ වාර්තාවන් අධිකරණය වෙත ගොනු කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක්ද නැත්නම් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන පංචපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මේ දක්වා සිදු කර ඇති විමර්ශනයන්ට අදාළව ලබාගත් සාක්ෂි මත දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර තිබිණි. මෙම පංචපුද්ගල වෛද්‍ය කමිටුව සඳහා සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා, රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ මහාචාර්ය ඩී. ප්‍රනාන්දු, පේරාදෙණිය රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණය වෛද්‍ය නිලධාරී එස්. සිවසුබ්‍රමනියම් හා ගාල්ල කරාපිටිය රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී ජී.ආර්. රුවන්පුර සෙසු සාමාජිකයන් ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නම් කරනු ලැබීය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 375 වගන්තියේ පැවරී ඇති බලතල අනුව මහේස්ත්‍රාත්වරිය විසින් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව තීරණය කර ගැනීම සඳහා මෙම පංචපුද්ගල වෛද්‍ය කමිටුව පත් කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT