Home » ප්‍රවාහන බලපත්‍ර නැතිව බස් ධාවනය කළොත් දඩය ලක්ෂ 5යි

ප්‍රවාහන බලපත්‍ර නැතිව බස් ධාවනය කළොත් දඩය ලක්ෂ 5යි

by mahesh
July 12, 2023 1:10 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

ප්‍රවාහන බලපත්‍ර නැතිව මඟී ප්‍රවාහන බස් ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව දැනට නියම කර ඇති රුපියල් 10,000ක දඩ මුදල රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා වන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (11) පැවැසුවේය.

රියැදුරුගේ සම්පූර්ණ නොසැලකිලිමත්කම හේතුවෙන් මනම්පිටියේ බස් අනතුර සිදු වූ බවට දැනට ඇති තොරතුරුවලින් හෙළිව ඇති බවත් අනතුරට ලක් වූ බස් රථය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙසට ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඇමැතිවරයා කීය. වසර 2018දී මේ සඳහා බලපත්‍රයක් දී ඇති බවත් මේ බලපත්‍ර හිමියා රුපියල් 10,000ක දඩයකට 2019 වසරේදී ලක්ව ඇති අතර, එසේ තිබියදී නැවතත් ඔහු වැරදි සිදු කරමින් බස් රථය ධාවනය කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

ත්‍රිරෝද, පාසල් වෑන් රථ, කාර්යාල වාහන යනාදියේ නියාමන බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලබා ගැනීම, දඩ මුදල් විශාල වශයෙන් වැඩි කිරීම යනාදි කාරණා පදනම් කර ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනයට ලක් කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

නැගෙනහිර, උතුරු මැද පළාත්වල බස් රථ විශාල සංඛ්‍යාවක් මඟී ප්‍රවාහන බලපත්‍ර නැතිව ධාවනය කරන බවත් ධාවනය වීමේදී ඔවුන් සාම්ප්‍රදායික ලෙස කිසියම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට කොමිස් මුදලක් දෙන බවට ප්‍රකාශ නොවන බවත් ඇමැතිවරයා කීය.

ධාවන බලපත්‍ර නැති බස් රථවලින් ධාවනය සඳහා අදාළ කොමිස් මුදල් කිසියම් පුද්ගලයකුගේ අතට නොදී නිශ්චිත ස්ථානයන්ට කොමිස් මුදල විසි කර යන ක්‍රමවේදයක් පවතින බවට තොරතුරු පවතින්නේ යැයි රහස් පොලිසියත්, බුද්ධි අංශත්, ප්‍රදේශවාසීනුත් වාර්තා කර ඇති බව ද ඇමැතිවරයා පැවැසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT