Home » මෛත්‍රී වන්දි මුදලින් මිලියන 15ක් ගෙවයි
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය

මෛත්‍රී වන්දි මුදලින් මිලියන 15ක් ගෙවයි

ඉතිරිය වාරික 10කින් ගෙවන්න අවසර ඉල්ලයි

by mahesh
July 12, 2023 1:15 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මඟින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරමින් ඒ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ගෙවීමට නියම කරන ලද රුපියල් මිලියන 100ක වන්දි මුදලින් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමක මේ මුදල ගෙවූ බව සඳහන් වේ.

අදාළ මුදල් හානිපූර්ණ කාර්යාලයේ ‘2019 ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ගේ ගිණුමට’ ඉකුත් ජුනි මස 28 වැනිදා ගෙවූ බව එම මෝසමෙහි සඳහන් වේ. රුපියල් මිලියන 10ක් සහ රුපියල් මිලියන 5ක් බැගින් එම මුදල් අදාළ අරමුදලට බැර කළ බව එහි දැක්වේ.

මිලියන 85ක ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10කින් ගෙවීමට එම මෝසම අවසර ඉල්ලා තිබේ.

2024 වසරේ ජුනි මස 30 වැනිදා සිට 2033 වසරේ ජුනි මස 30 වැනිදා දක්වා වසර දහයක කාලය තුළ සමාන වාරිකවලින් එම වන්දි මුදල ගෙවා අවසන් කිරීමට අපේක්ෂා කරන බව එහි සඳහන් වේ.

හිටපු ජනාධිපතිවරයකු ලෙස තමන්ට මාසිකව රුපියල් 97,500ක විශ්‍රාම වැටුප් වශයෙන් ලැබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285ක මාසික වැටුපක් ද ආදායම වශයෙන් ලැබෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මෝසමෙහි සඳහන් කර ඇත.

එම මාසික වැටුපෙන් අදාළ වන්දි මුදල් වාර්ෂිකව ගෙවීමට අපේක්ෂා කරන බව ද එහි සඳහන් වේ.

මේ අතර අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් නියම කළ පරිදි තමන්ට ගෙවීමට නියම වූ වන්දි මුදලින් කොටසක් ගෙවීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කිහිපදෙනකු කටයුතු කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තමන්ට ගෙවීමට නියම වූ මිලියන 50ක වන්දි මුදලින් රුපියල් මිලියනයක් ගෙවා තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ට නියම වූ මිලියන 75ක වන මුදලින් රුපියල් 1, 725,588ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.

එසේම රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවන ලෙස නියම වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් මේ වන විට රුපියල් මිලියන 4.1ක් ගෙවා ඇත.

හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා තමන්ට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 10ක වන්දි මුදලෙන් රුපියල් මිලියන 05ක මුදලක් ගෙවා අවසන් කර ඇති බව සඳහන් වේ. ඊට අමතරව රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මඟින් රුපියල් මිලියනයක වන්දියක් ද ගෙවා තිබේ.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරමින් ඉකුත් ජනවාරි දොළොස් වැනිදා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් මඟින් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලදි.

මූලික අයිතිවාසිකම් පෙත්සම් දොළහකට අදාළව දෙන ලද එම තීන්දුව මඟින් අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක් ද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරු විසින් රුපියල් මිලියන 75 බැගින් ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රුපියල් මිලියන 50ක් ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන දහයක් ද වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියෝග කෙරිණි.

අදාළ වන්දි මුදල් එදින සිට මාස හයක කාලයකදී ගෙවන ලෙස ඔවුන්ට නියම වූ අතර එම කාලය අදින් (12) අවසන් වීමට නියමිතය. එම පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් දරුවන් අහිමි වූ පියකු සහ එයින් පීඩාවට පත් වින්දිතයන් ඇතුළු පිරිසක් විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ගොනු කර තිබිණි.

පෙත්සම් පිළිබඳ පූර්ණ නඩු විභාගයකින් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් මඟින් අදාළ තීන්දුව ප්‍රකාශ කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT