Home » රටවල් 8ක ව්‍යාපාරිකයන් 300කට දේශන පවත්වා ජෙරොම් මාසෙට මිලියන 6ක් උපයලා

රටවල් 8ක ව්‍යාපාරිකයන් 300කට දේශන පවත්වා ජෙරොම් මාසෙට මිලියන 6ක් උපයලා

මුදල් ශ්‍රී ලංකාවේ ගිණුමකට

by mahesh
July 12, 2023 1:20 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක ව්‍යාපාරිකයන් 300කට පමණ සතියකට වරක් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර උපදේශන සේවයක් සහ දේව ආශිර්වාද වැඩසටහනක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් හෙළි කරගෙන තිබේ.

මෙම දේශනය මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන බවත් මෙම දේශනයට ව්‍යාපාරිකයන් සම්බන්ධ වන්නේ අමෙරිකානු ඩොලර් 210ක මුදලක් ශ්‍රී ලංකාවේ පිහිටි බැංකු ගිණුමකට බැර කරමින් බවත් විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම දේශනයෙන් පමණක් රුපියල් මිලියන 1.5කට අධික මුදලක් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු උපයන බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟ රටින් පිටව ගිය ඔහු තවදුරටත් මෙම දේශන පවත්වමින් සිටින බවත් මුදල් පෙර පරිදිම මෙරට බැංකු ගිණුමකට බැර වන බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පෙනී ගොස් ඇත.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නීති විරෝධී ක්‍රියා සඳහා සම්බන්ධ වී ඇති බව මෙතෙක් අනාවරණය වුවත් තවදුරටත් විමර්ශන සිදු වන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තොරතුරු අනාවරණය කළේය. ජෙරොම් ප්‍රනාන්දු විසින් දේශන පැවැත්වූ කටුනායක පිහිටි ‘මිරැකල් ඩෝම්’ ශාලාව පිහිටි අක්කර 04ක ඉඩම ජෙරොම් ප්‍රනාන්දුට ලබාදුන් බව කියන එහි හිමිකරුගෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. හිටපු පොලිස් නිලධාරියකු වන ඔහු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පවසා ඇත්තේ එම ඉඩම තමා පරිත්‍යාගයක් ලෙස දේවස්ථානය ඉදි කිරීමට ලබාදුන් එකක් බවය. හෝටලයක් ඉදි කිරීමට තමා විසින් රුපියල් කෝටි 9කට මිල දී ගත් මෙම ඉඩම ජෙරොම් ප්‍රනාන්දුට ලබා දුන්නේ 2015 වසරේදී බව ද ඔහු පවසා ඇත. මෙම පොලිස් නිලධාරියා ඇඟලුම් ව්‍යාපාරයකට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයට ආසන්න භූමියක පිහිටි ඔහුට අයත් කර්මාන්ත ශාලාව ඔහු විසින් අමෙරිකානු ඩොලර් මිලියන 19,000ට විදේශිකයකුට අලෙවි කර ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඉඩම මිල දී ගෙන ඇත්තේ එම මුදලින් බව සඳහන්ය. කර්මාන්ත ශාලාව විදේශිකයකුට අලෙවි කළත් එම කර්මාන්ත ශාලාව පිහිටි භූමියේ අයිතිය තවමත් ඇත්තේ මෙම ව්‍යාපාරිකයාට බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. එහි කුලිය ලෙස මාසිකව ඔහුට ලක්ෂ 110ක මුදලක් ලැබෙන බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

කොළඹ පිහිටි ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇති ඔහු කෝටි ගණනක් වැය කර එම පාසලට පිහිනුම් තටාකයක් පවා ඉදි කරදී ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෙවැනි ව්‍යාපාරිකයන් රැසක් ජෙරොම්ගේ අනුගාමිකයන් අතර සිටින බවත් ඒ අතර මෙරට ප්‍රසිද්ධ වාහන අලෙවි ස්ථානයක හිමිකරුවන් ද සිටින බව අනාවරණය වී ඇත. වෛද්‍යවරු, නීතිඥවරු ද විවිධ රජයේ ආයතනවල සේවයේ නිරත ඉහළ නිලධාරීන් ද ජෙරොම්ගේ අනුගාමිකයන් අතර සිටින බව පෙනී ගොස් ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT