Home » කැබිනට් තීරණ

කැබිනට් තීරණ

by mahesh
July 12, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර වරණීය වෙළෙඳ ගිවිසුමක්

අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය වන ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාවට ප්‍රතිලාභදායී වෙළෙඳ සබඳතා ගොඩනඟා ගැනීමට සුදුසු විභවයක් සහිත වෙළෙඳ හවුල්කරුවකු ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව එරට සමඟ දිගුකාලීන නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ අරමුණින් එහි මූලික පියවරක් වශයෙන් වරණීය වෙළෙඳ ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලය අනුමැතිය ලැබි ඇත.

ගනු-දෙනු උපදේශකයන් තෝරා ගන්න අවසර

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කැන්විල් හොල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම, හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම සහ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරා ගැනීම සඳහා අනුමැතිය පළ වේ.

2023 – 03 – 13 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේ දී ඉහත සඳහන් සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එම කාර්ය සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, අභිමතය ප්‍රකාශ කිරීම් (EOI) සහ යෝජනා ඉල්ලීම් (RfP) කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කෙටි ලැයිස්තු ගත කරන ලද යෝජනා අතුරින් ගුණාත්මක බව සහ පිරිවැය මත පදනම් වූ තෝරා ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ඉහත සඳහන් ආයතන 4 සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරා ගෙන තිබේ. ඒ අනුව, තෝරාගනු ලැබ ඇති පහත සඳහන් ගනුදෙනු උපදේශකයන් සමඟ අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කර ඇත.

(i) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව – Alvarez and Marsal
(ii) කැන්විල් හොල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම – Deloitte India
(iii) හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම – Colliers Singapore
(iv) ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම – Deloitte India

සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීමට යෝජනාවක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගත් මිලියන දෙකක් පමණ වන නාමලේඛන මේ වන විට අභියාචන සහ විරෝධතා ඉදිරිපත් කිරීම පිණිස ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රකාශයට පත් කර ඇත. එම වැඩපිළිවෙළ යටතේ සුබසාධක ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉල්ලුම් කරනු ලැබ ඇති වැඩිහිටි ආධාර ලබන තැනැත්තන්, හඳුනානොගත් හේතු මත වූ වකුගඩු රෝගී ආධාර ලබන තැනැත්තන් හා ආධාර ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන් වඩාත් සුදුසු නිර්ණායක සහ උපමාන පාදක කර ගනිමින් නිර්ණය කරනු ලබන තෙක්, මේ දක්වා ප්‍රතිලාභ ලබමින් සිටි එම සමාජ කණ්ඩායම් 3 සඳහාම දැනට ප්‍රකාශයට පත්කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කර තිබේ.

හම්බන්තොට සංවර්ධන සැලසුමක්

ප්‍රධාන වර්ධන කේන්ද්‍රයන් සඳහා විසල් හම්බන්තොට ප්‍රාදේශීය ආකෘති සැලසුමක් සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම සඳහා උපදේශක සේවා ලබා ගැනීමේ කාර්ය සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙත පැවරීමට 2018 -06 – 26 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇති නමුත් එකී තීරණය පරිදි මෙතෙක් කටයුතු කර නොමැත. හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර, කොළඹ නගරය හා බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට සහ නැඟෙනහිර පළාත් උපායමාර්ගික සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රධාන සැලසුම් සකස් කිරීමේ වගකීම පවරා ඇති සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙතම හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලසුම සකස් කිරීමේ කාර්ය පැවරීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එම කාර්ය සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙත පැවරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කර ඇත.

වසර මැද මූල්‍ය තත්ත්වය ගැන වාර්තාව පාර්ලිමේන්තුවට

2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 10 වන වගන්තිය අනුව වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මුදල් විෂයභාර ඇමැතිවරයා විසින් සෑම මුදල් වර්ෂයකම ජුනි මස අවසාන දින වන විට මහජනතාව වෙත නිකුත් කළ යුතු අතර, ඉන් අනතුරුව, එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වේ. ඒ අනුව, 2023 – 06 – 30 දින දක්වා වන වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වෙබ් අඩිවියෙහි ප්‍රකාශයට පත්කර තිබේ. එකී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ණය ගැනීමේ සීමාව සංශෝධනය කරන පනත් කෙටුම්පත ගැසට්ටුවට

2023 වර්ෂය සඳහා අනුමත ණය ගැනීමේ සීමාව සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට අනුමැතිය හිමිව තිබේ.

2023 වර්ෂය සඳහා අනුමත ණය ගැනීමේ සීමාව සංශෝධනය කිරීම සඳහා 2023 – 06 – 28 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, 2022 අංක 43 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කර ඇත.

ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ කළමනාකරණ යන්ත්‍රණයට අනුමැතිය

ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය හා ක්‍රියාත්මක කිරීමේ කළමනාකරණ යන්ත්‍රණයට කැබිනට් අනුමැතිය පළ වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්ය සී.එම්. මද්දුම බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුතුව අදාළ ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි පත් කරන ලද විශේෂඥ කමිටුව අගමැති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ සකස් කර ඇති ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය සහ ක්‍රියාත්මක කිරීමේ කළමනාකරණ යන්ත්‍රණය අගමැතිවරයා, ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට තීරණය කැර තිබේ.

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වැනි කණ්ඩායම බඳවා ගන්න අවසර

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ 07 වන කණ්ඩායම බඳවා ගැනීම පිණිස 2023 – 04 – 24 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ.

ලංකා බැංකුව සහ මහජන බැංකුව විසින් සම්පූර්ණ ණය කාලසීමාව සඳහා සියයට 13ක අවම පොලී අනුපාතිකයක් පවත්වාගෙන යමින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, 2019, 2020 සහ 2021 වර්ෂයන්හි උසස් පෙළ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා හැදෑරීම සඳහා තෝරාගනු ලැබ ඇති සිසුන් අතුරින් නියමිත සුදුසුකම් සපුරා ඇති සිසුන් සඳහා 07 වැනි කණ්ඩායම යටතේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කර ඇත.

ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ ඇති ඉඩම ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනයට ප්‍රදානය කිරීමට අවසර

ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාව වෙත බදු දී ඇති කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඉඩම ප්‍රදානයක් ලෙස ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ.

වඩාත් කාර්යක්ෂමව අධ්‍යාපන සේවා සැපයීම සහ එම ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් වෙත වැඩි පහසුකම් ලබාදීමට හැකිවන පරිදි එකී ඉඩම සංවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලීන බද්දක් වෙනුවට එම ඉඩම් කොටස ප්‍රදානයක් ලෙස ලබාදෙන ලෙස ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාවේ අනුශාසක ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කර ඇත. එකී ඉල්ලීම 2023-04-06 දින නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය අනුමත කර තිබේ. ඒ අනුව එකී ඉඩම් කොටස නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාව වෙත ප්‍රදානයක් වශයෙන් ලබාදීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කැර ඇත.

ශ්‍රී ලංකා වරායන් පිළිබඳ අධිකාරි පනත සංශෝධනයට අනුමැතිය

1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායන් පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ.

1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායන් පිළිබඳ අධිකාරි පනත සංශෝධනය කිරීම පිණිස 2023-01-02 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කැර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT