(නැඟෙනහිර ලන්ඩන්හි ලුම්බිණි විහාරය අරඹමින් මාකූරේ මංගල නාහිමිපාණන් වහන්සේ කළ අපරිමිත මෙහෙවර දිවිය ගැන තොරතුරු බිඳක් එකතු කරන්න ලැබීම මහත් සතුටකි).
පින්වත් දරුවකුගේ උපත මවුපියන්ට උතුම් සතුටකි, සම්පතකි. කෑගලු දිස්ත්‍රික්කයේ මාකූර ගමේ දී එවකට ගම් පළාතේ ගම්පති වූ රාජකරුණා වනිගසේකර මුදියන්සේලාගේ පොඩි බණ්ඩාර ගම්පති රාලහාමිටත් එම මැතිනිය වූ දිසානායක මුදියන්සේලාගේ ඩිංගිරි මැණිකේ මාතාවටත් තම හතරවැනි දරුවා ලෙස උපත ලැබූ මංගල භද්‍රකුමාර වනිගසේකර පුතණුවන් එක්සත් රාජධානියේ අධිකරණ සංඝනායක හාමුදුරුවන් වන බව සිතන්නට නැත. එහෙත් මංගල යන නාමය තැබුවේ උප්පත්ති කේන්ද්‍රයේ ප්‍රබල ග්‍රහ බලපෑම් නිසා තම ගමට රටට මෙන්ම ලොවටම මංගල්‍යයක් සිදු කරනු ඇත. තම භද්‍ර කුමාර පුතණුවන් වනිගසේකර පරම්පරාවේ නම රකිනු ඇතැයි ගම්පති රාලහාමි සිතුවද මෑණියන් සිතුවේ තම මංගල පුතණුවන් පරම්පරාවට ආලෝකයක් වනු ඇත යන්නය. එතුමිය එසේ සිතුවේ කුඩා කල සිටම තම දරුවන් හත් දෙනාගෙන් හතරවැන්නා තුළ වූ ශ්‍රද්ධාව වැනි සුවිශේෂී ගුණය ගැන නිරීක්ෂණය කිරීමෙනි.
ප්‍රාථමික අධ්‍යාපනය
මංගල භද්‍ර කුමාර වනිගසේකර කුමරා තම සහෝදරියන් සතර දෙනාගේ ද සහෝදරයන් දෙදෙනාගේ ද සෙනෙහස ලබමින් මාකුර ප්‍රාථමික පාසලෙන් පහ වසර දක්වා අධ්‍යාපනය ලබා කෑගල්ල මහා විද්‍යාලයේ 8 වසර දක්වා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය හැදෑරීය.
පැවිදි වීම සහ උපසම්පදාව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මාකඳුර ශ්‍රී සරණංකරාරාම මහා විහාරයේ දී, හරිගල හේමාලෝක නාහිමිපාණන් වහන්සේගේ ද, එම විහාරයේ වත්මන් විහාරාධිපති, පොල්ගම්පොළ පියනන්ද මාහිමිපාණන් වහන්සේගේ ද ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයන් වහන්සේ ලෙස උතුම් පැවිදි දිවියට 1977 ජනවාරි මස 06 වැනි දින ඇතුළත් වූ මාකූරේ මංගල සාමණේරයන් වහන්සේ එම ආචාර්යන් වහන්සේලාගේම ප්‍රධානත්වයෙන් මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී 1983 ජූලි මස 17 වැනි දින උතුම් වූ උපසම්පදා සීලයේ පිහිට වන ලදහ. උපසම්පදා දිවියට වසර 40ක් සපිරෙන මේ මාසයේම එම සංඝ සභාවේම ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ලබා අක්තපත්‍ර ලැබීමේ සැමරුම් යෙදීම ද ඓතිහාසික සිහිවටනයකි.
මංගල පොඩි හාමුදුරුවන් පිරිවෙන් අධ්‍යාපනයට යොමු කිරීමට සිතූ ගුරු හාමුදුරුවන් වහන්සේලා දෙනම එවකට ප්‍රදේශයේ ඉතා කීර්තිමත් පිරිවෙනක් වූ සඳලංකා ශාස්ත්‍රාලය පිරිවෙනට උන්වහන්සේ ඇතුළත් කළහ. එම පිරිවෙනේ මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහිදී බෞද්ධ දර්ශනය ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද හිමි කර ගත්තේ ගුරු හාමුදුරුවන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ද දායකකාරකාදීන්ගේ ද පැතුම් මල්ඵල ගන්වමිනි.
විදේශ ධර්මදූත මෙහෙවර
විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් වීමත් සමඟම තම ශාසනික මෙහෙවර ඇරඹිය යුත්තේ කෙසේදැයි සැලසුම් කරමින් සිටියදී South East Londonයේ Plumsted ප්‍රදේශයේ පිහිටි Buddhist Cultural Group මඟින් පවත්වාගෙන ගිය Plumsted පන්සලේ ආරාධනාවක් අනුව උන්වහන්සේ 1992 සැප්තැම්බර් මස එංගලන්තයට වැඩම කළහ. එහිදී පූජ්‍ය මකුද්දල ඤාණිස්සර හිමිපාණන් වහන්සේගේ පූර්ණ උපදේශකත්වයෙන් සිය විදෙස් ධර්ම දූත මෙහෙවර ඇරඹූ බව උන්වහන්සේ අදත් සඳහන් කරන්නේ කෘතඥතා පූර්වකවය.
ධර්ම ප්‍රචාරක මෙහෙවර
ලුම්බිණි විහාරය ලංකාවේ බොහෝ තරුණ භික්ෂූන් වහන්සේලාට එංගලන්තයට පැමිණ ධර්ම ප්‍රචාරක කටයුතු කිරීමට පුහුණුව සලසන ආයතනයකි. එමෙන්ම මහා බ්‍රිතාන්‍යයේ පුස්තකාලය පරිහරණය කරමින් ශාස්ත්‍රීය අධ්‍යාපන කටයුතුවල නිරත වන ආචාර්ය, මහාචාර්ය ස්වාමීන් වහන්සේලාට ද විවේකීව සිය අධ්‍යාපන කටයුතු කිරීමට පහසුකම් සලසන ස්ථානයකි.
ප්‍රදේශයේ දරුවන්ට ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය සහ ධර්මය පුරුදු පුහුණු කරවන දහම් පාසලක් සහිත විහාරස්ථානයකි.
ශ්‍රී ලාංකික සැමට අවුරුදු උත්සව, නිදහස් උත්සව සැමරීමට ඉඩකඩ සපයන සංස්කෘතික මධ්‍යස්ථානයකි. මේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් සංවිධාන කරනු ලබන බක්මහ උලෙළ ලංකාවේ ද ප්‍රසිද්ධය.
ශ්‍රී ලාංකික බෞද්ධයන්ට පමණක් නොව තායි, වියට්නාම, බංග්ලාදේශ, නේපාල් ආදී රටවල බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ උනන්දුවක් දක්වන සැමට ද ලුම්බිණි විහාරය බෞද්ධයන්ට ද ධර්මයේ සිසිලස සලසන මධ්‍යස්ථානයකි.
මේ විහාරස්ථානයේ ධර්ම ප්‍රචාරක කටයුතු අතර කැපී පෙනෙන්නේ පළාතේ පාසල්වල දරුවන්ට බුදු දහම පිළිබඳ කරන වැඩසටහන්ය. නිව්හැම් නගර සභාවේ පාසල්වල ආගමික උපදේශකයකු ලෙස කටයුතු කරන මංගල හාමුදුරුවෝ පාසල් භාරකාර උපදේශක මණ්ඩලයේ ද සාමාජිකත්වය දරති. විහාරස්ථානය නැරඹීමට සහ භාවනා පුහුණුවට පාසල් දරුවන් පැමිණෙන්නේ සිය ගුරුවරුන් ද සමඟය.
නේවාසික හිමිවරුන්ගෙන් ලැබෙන සහාය ද ප්‍රශස්තය. වර්තමානයේ එක්සත් රාජධානියේ තිබෙන විහාරස්ථාන අතර ලුම්බිණි විහාරස්ථානයට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි.
අපේ මංගල හාමුදුරුවෝ උන්වහන්සේලාට සියතින්ම දානය පිළියෙල කර දෙති. විහාරස්ථානය ප්‍රතිසංස්කරණ කාලයේදීද උන්වහන්සේ එහි වැඩ කරන තරුණ පිරිසට ද දිවා ආහාරය සාදාගෙන එන අයුරු මට මතකය. සියතින් සකසා දන් දීමට මංගල හිමියන් දක්වන්නේ පුදුම කැමැත්තකි.
සෑම කඨින පින්කමකටම ලංකාවෙන් වාර්ෂිකව වැඩම කරවන හිමිවරුන් රැසකි. ඒ අතර උඩුවේ ධම්මාලෝක හිමි, රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරි ඊතලවැටුණුවැවේ ඥානතිලක, රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අකුරැටියේ නන්ද නාහිමිපාණන් වහන්සේ ද වෙති. මේ යතිවරයාණන් වහන්සේලා ලුම්බිණියට වඩින්නේ එහි ඇති ආකර්ෂණීය බව මෙන් ම ආගන්තුක සත්කාරය නිසාය. නිදහස් විවේකී පරිසරය මෙන්ම කාරුණික දායක පින්වතුන්ගේ ළෙන්ගතුකම නිසාය. ඒ සඳහා කැප කිරීම සහ නිවැරදි නායකත්වය සැලසෙන්නේ මේ විහාරයේ නිර්මාතෲන් වහන්සේගෙනි.
ලුම්බිණි විහාරයේ ජාතික ආගමික සේවය
අභිනව නාහිමිපාණන් වහන්සේගේ නායකත්වයෙන් ලුම්බිණි විහාරයේ දායක පින්වතුන්ගේ පූර්ණ කැප කිරීම සහ පරිත්‍යාග නිසා එංගලන්තයට පමණක් නොව ලංකාවට ද කළ සේවය අපිරිමිතය.
තම මාතෘභූමියේ ජනතාව විපතකට මුහුණ දුන් විට මංගල හාමුදුරුවෝ වහ වහා ක්‍රියාත්මක වී හැකි ඉහළම අයුරින් ඔවුන්ට පිහිට වෙති. සුනාමි ව්‍යසනයෙන් අවතැන්වූවන්ට තෙල්වත්ත නම් ප්‍රදේශයේ නිවාස 13ක් සම්පූර්ණයෙන් වැඩ නිම කර ගෘහ භාණ්ඩ ද සහිතව පරිත්‍යාග කිරීමද උන්වහන්සේගේ මහඟු සේවාවකි.
අනුරාධපුර පිළිකා රෝහලට මංගල හාමුදුරුවෝ නිතර නිතර අවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම පෝෂ්‍යදායී ආහාර වර්ගද කිරිපිටි වර්ග ද විටමින් වර්ගද පරිත්‍යාග කරති. කොළඹින් ඈතට අඩු පහසුකම් ඇති මේ ග්‍රාමීය රෝහල්වලට ලැබෙන උදවු උපකාර ඉතා ඉහළින්ම වෛද්‍ය කාර්ය මණ්ඩලය අගයනු අප මාධ්‍යවලින් දැක ඇත.
ලංකාවේ ග්‍රාමීය රෝහලේ සිට එංගලන්තයේ රෝහල් දක්වාම ගිලනුන් වෙනුවෙන් සිදු කරන මෙහෙවර සසර පුරාවට නිදුක් නීරෝගි සුව ගෙන එනු ඇත. මාකූරේ මංගල හිමිපාණන් වහන්සේගේ මේ උතුම් මෙහෙවර සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක මහා හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ඇගයීමට ලක් වන්නේ අපේ මංගල හාමුදුරුවන්ට “ධර්ම කීර්ති ශ්‍රී හේමාලෝක” යන ගෞරව නාමය ද සහිතව එක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමමිනි.
උපසම්පදා වී වසර හතළිහක් සපුරන මේ වසරේ ජූලි මාසයේ ම මේ උපහාරය ලැබීම ද ඓතිහාසිකය. වසර 31ක් පුරා විදේශ ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් ලෝ සසුන් මහඟු මෙහෙවරක නියැළෙන අභිනව අධිකරණ සංඝනායක හිමියන්ට තවත් බොහෝ කලක් මේ උදාර මෙහෙවර සිදු කරන්නට නිදුක් නීරෝගි සුව ප්‍රාර්ථනා කරමි.
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත බෞද්ධ විහරාධිපති කඹුරාවල සිරි රේවත නායක හිමි