දාරළුවේ පඬුකරඳ හිමියෝ ලෙස හැඳින්වීම වැරදි විය හැකිය. ඒත්, 2022 පෙබරවාරි 10 වෙනිදා සිවුරු පොරවා මහණ කළ බැවින් එසේ කියනවාදැයි නොදන්නෙමු. එය වැරදි නම් අපට අනුකම්පා කර සමාව ලබාදී, ගසක් මහණ කළ එවුන් සමඟ ඉතිරි හරිය බලා ගන්නා ලෙස දැනුම් දෙමු. එසේ නැත්නම් ආනුභාවසම්පන්න පඬුකරඳ රාජයා ලෙස ද නම් කළ හැකිය.
එහෙමත් බැරි නම් ‘දේවානිගේ පණ’ ලෙස ද කිව හැක.
පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි ජී. එච්. කේ. ත්වේටේස් විසින් 1864 වර්ෂයේ දී Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants නම් පොතක් පළ කරන ලදි. කළුතර ගල්පාත ප්‍රදේශයෙන් හමු වූ ශාකයක් ඔහු Detarium zeylanicum ලෙස නම් කළේය. තවදුරටත් උද්භිද විද්‍යාත්මක ලක්ෂණ සලකා මේ ‘දරුවාට’ Crudia zeylanica නම් අලුත් නමක් 1866 දී ජෝර්ජ් බෙන්තම් ලබා දෙන්නේය. ඔහොම ඉන්න අතරේ 1993 වසරේ පළ කරන ලද රතු දත්ත පොතේ තාවකාලික ලේඛනයේ මේ ශාකය තර්ජනයට පත් ශාකයක් ලෙස නම් කළේය. 1998දී රතු දත්ත පොත සඳහන් කරන ලද්දේ ‘බඩු මිසින්’ බවය. ඒ අනුව පඬුකරඳ ගස යනු ‘එක්කෝ පොතේ හෝ නැත්නම් දර කෑල්ලක් ලෙස, මිස ඉන් පසුව ගසක් ලෙස නොපවතින බවය.’
ඔහොම කාලයක් යන විට පඬුකරඳ කතා අමතකව ගොස්, මධ්‍යම අධිවේගය ‘තිරයට’ එන්නේය. සංවර්ධන ව්‍යාපෘති ඇතිවන විට ‘වැඩියෙන්ම සතුටු ත්‍රිබලක්’ සිටිති. පළමුව ඒ සමඟ එන කොමිස් පැකේජ් එක බලා සිටිනා දේශපාලනඥයෝ සහ නිලධාරීහූය. ඊළඟට කොන්ත්‍රාත් මහත්වරුය. පරිසරවේදීන් සිටින්නේ ඊළඟට නොව, හරි හරියටය.
පරිසරවේදී හිමේෂ් දිල්රුවන් ජයසිංහ සිය නිරීක්ෂණ අතරේ තුරන්ව ගොස් ඇතැයි සැලකුණු මේ පොළොවට ආවේණික ගස් තුනක් යළි සොයා දුන් විද්වතෙකි. හේ සිය එක් නිරීක්ෂණයකදී සමනලුන් පිරි ගසක් දුටුවේය. සමනලුන් පැත්තක දමා ගස ගැන සොයා බැලූ කල්හි, අර නැති වෙලා යැයි ලෝකය පිළිගත් ගස එතැනය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව දුම්රිය ස්ථානය අසල ඇති ඒ ශාකය ජාතික සම්පතකි. ලෝකයට වටිනා වස්තුවකි. එතැන් සිට එන්නේ ගසේ නැඟ පොලිටිකල් කිරීමේ වෑයමය. ආණ්ඩුව මට්ටු කිරීම සඳහා පිදුරු ගසෙත් එල්ලීමට බලා සිටි සියලු දෙනා, පඬුකරඳ ගසේ එල්ලුනාහ.
අධිවේගී මාර්ගය ඉදිකිරීම ද ගස බේරා ගැනීම ද කියා ප්‍රශ්න කරන විට, පැවති ආණ්ඩුවට අවශ්‍ය වූයේ ගස ඉවත් කර වෙනත් තැනක සිටුවා මාර්ගය ඉදිකිරීමය. වැඩේ පත්තු වන්නේ එතැන් සිටය. පිරිසක් ගහ මහණ කළේය. දේවානි සීමාව ඉක්මවා ගොස් ගහ වෙනුවෙන් ‘එල්ලුම් ගස්’ යන ගාණට ෆෝම් එකේ සිටියාය. පාස්කු ප්‍රහාරයේ කෝටි දහයක වන්දියෙන් කෝටි එකහමාරක් අමාරුවෙන් ගෙවා සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගහ ‘කර කාරේට’ නොගත්තා පමණය. සමහර විට එතුමා එහි එන විට, රාජු මල්ලි පොලොන්නරුවේ ගස්වලට දුන් සාත්තුව ආරංචි වී, පඬුකරඳ ගහ හැංඟෙන්නට තැනක් සොයන්නට ද ඇත.
මෙහෙම ආදරයක් ගහට ඇත්තේ නම්, අධිවේගය නවතා දමා ‘ගහ එක්ක කුද ගහ ගනින්’ යැයි ආණ්ඩුව කීවා නම් ඔය ‘ගස් ඇත්තෝ’ උදේ හවා කොළඹ සිට නුවරට පැය ගාණක් බඩ ගාන මිනිසුන්ගෙන් ගුටි කනවා ඇත. එහෙම තියෙද්දී ‘අර මෝඩ ආණ්ඩුව’ ගහ වෙන තැනක රෝපණය කර, අධිවේගය ඉදිකිරීම වෙනුවෙන් ‘පොළොවේ පස්’ කෑහ. එකම ගහ මේකයි කියා ඒ පිරිස රඟන අතරේ, කෲඩියා සෙලනිකා විශේෂයේ තවත් ශාක හතක් සහ පැළ විස්සක් ඇතැයි වාර්තා වුවද, ඒ කිසිවකින් ආණ්ඩු විරෝධය ‘පත්තු කර ගත’ නොහැකි නිසා, පිරිස ගසෙන් බැස්සේ නැත. අවසානයේ ‘ඔප්ෂන්’ දෙකක් ඉතිරි විය. එකක් කෲඩියා සෙලනිකා ගස බේරා, පාර පැත්තකට හැරවීමය. එහෙම කළොත් ඒ විශේෂයේ තවත් ගස් දෙකක් කැපී යන්නේය. අධිවේගය මුළුමනින්ම වෙනස් කිරීම අනිත් එකය. ඒ වැඩේට රුපියල් බිලියන අටකට වැඩි මුදලක් වියදම් වන්නේය. මධ්‍යම අධිවේගයට ‘තවත් පාරක්’ තිබුණේය. ගහ ඇති ස්ථානයෙන් පාර එසවුවහොත්, ඒ වැඩේට රුපියල් බිලියන හයක් පමණ වියදම් වන්නේය. ‘අවසන් පාර’ වූයේ, ගහ ගලවා වෙනත් තැනකට මාරු කිරීමය. මේ සඳහා ඒ ඉඩමේ අයිතිකරුවෝ, සිය ඉඩමේ වෙනත් ස්ථානයක් නොමිලේම දෙන්නට කැමති වූහ. ඒත් අර සෙට් එක ‘ගහෙන් බැස්සේ’ නැත. අධිවේගය ඉදිවුණේ ද නැත. එහෙම ආ විරෝධය ටිකෙන් ටික ඉදිරියට ගොස් ජනාධිපති ගෝඨාභයට නම් ‘යන්න පාරක්’ නැති විය. අවසානයේ වරාය මැද්දෙන් ඇති පාරෙන් ගොස් නැවකට නැඟ, යන්තම් සිංගප්පූරුවේ පාරකට හේ ගොඩ බැස්සේය.
බැකෝ යන්ත්‍ර දෙකක් පටවාගත් ලොරි රථයකින් පැමිණි පිරිසක් දඩබඩ ගා පඬුකරඳ ගස පෙරේදා ගලවාගෙන ගිය බව, ඊයේ දිනමිණ වාර්තා කළේය. මේකත් හරියට ගෝඨාභය ජනාධිපතිට හොල්ලන්න බැරිවුණු ගාලුමුවදොර උද්ඝෝෂකයෝ වෙත ‘ලයිට් නිවා’ එක රැයෙන් ගේම දුන්නා වැනි වැඩකි. ඊළඟ සතියේ දෙකේ ‘නැති ගහේ’ කිහිප දෙනෙකු නැඟ රඟනවා ඇත. ඉන් පසු වසර ගණනාවක් ප්‍රමාද වූ මධ්‍යම අධිවේගය ද ඉදිවෙනවා ඇත. අර සටන් කළ අය ‘ගහේ වටේ ද’ නැති වෙනවා ඇත.