Wednesday, April 23, 2025
Home » ශ්‍රී ලාංකීය සමාජයේ සහජීවනය වර්ධනය කිරීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කඩිනමින් කීරීමට උපදෙස්

ශ්‍රී ලාංකීය සමාජයේ සහජීවනය වර්ධනය කිරීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කඩිනමින් කීරීමට උපදෙස්

by yasara
July 11, 2023 4:00 pm 0 comment

prime minister

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම,බහුභාෂික ශ්‍රී ලාංකීය සමාජය තුළ සහජීවනය ඉහළ නැංවීමට ඉවහල්වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (11)කොළඹ පැවති ජාතික භාෂා සමානතා අභිවෘද්ධි ව්‍යාපෘතියේ (NLEAP) සම්මන්ත්‍රණය අමතමිණි.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ විවිධ ප්‍රජාවන්ගෙන් සමන්විත ඕනෑම ජාතියක එකමුතුකම බොහෝ දුරට රඳා පවතින්නේ එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව මත බවයි. මේ සම්බන්ධයෙන් ඵලදායී පියවර ගන්නා ලෙස එතුමා අදාළ සියලු ආයතන සහ දෙපාර්තමේන්තුවලින් ඉල්ලා සිටියේය.

භාෂාව ද මිනිසුන්ගේ අහිමි කළ නොහැකි අයිතියකි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ස්වකීය සංස්කෘතියට අනුව කටයුතු කිරීම, භාෂාමය අයිතිවාසිකම්, අධ්‍යාපනයට ඇති අයිතිය, පෞද්ගලිකත්වය සහ එක්රැස් වීමේ අයිතිය සන්නිවේදන අයිතිවාසිකම්වලට ඇතුළත් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

‟ නැවත සිහිපත් කළ හොත්, මම අද සිටින්නේ ගාලු මුවදොර හෝටලයේ. මීට වසරකට පෙර මෙම ස්ථානයෙන් පිටත ජනතාව අතර අරාජිකත්ව හැඟීමක් ඇති වෙමින් තිබුණා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යටතේ, ජනතාවගේ සහයෝගයෙන් රටේ නීතිය හා සාමය මෙන්ම ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට අපට හැකි වුණා, ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීමේ පරමාර්ථය, සංස්කෘතික විවිධත්වය පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර පිළිගැනීම වැඩි දියුණු කිරීමයි. සන්නිවේදන බාධක ජය ගැනීම වේගවත් ආර්ථික සංවර්ධනයට සහ එහි ඒකාකාරී ප්‍රවර්ධනය සහතික කිරීමට ද උපකාරී වේ. එමෙන්ම එය දරිද්‍රතාවය අඩු කිරීමටත්, ශ්‍රී ලංකාව පුරා සිටින සිංහල හා දෙමළ කතා කරන ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ ආර්ථික හා සමාජීය සමානාත්මතාවය වැඩිදියුණු කිරීමටත් උපකාරී වෙනවා.”

NLEAP ව්‍යාපෘතිය සඳහා ලබාදුන් මූල්‍ය ආධාර පිළිබඳව කැනඩා රජය වෙත කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරයා, සෑම ජාතික භාෂාවක්ම භාවිතය සම්බන්ධයෙන් සමාන ප්‍රගතියක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට උපකාර කිරීම දක්වා ව්‍යාපෘතිය දීර්ඝ කිරීමට මහ කොමසාරිස් එරික් වොල්ෂ් ( Eric Walsh) මහතා දැක්වූ සහයෝගයට ස්තූතිය පළ කළේය.

ජාතික භාෂා සමානාත්මතා අභිවෘද්ධි ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මිෂෙල් එම්බ්ලෙම් ( Michael Emblem) පැවසුවේ NLEAP ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ බහුභාෂා භාවිතය සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් බාධාවන් සම්බන්ධ විශේෂිත අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීමට සහ ඒවාට විසඳුම් සෙවීමට විද්වතුන්, සිසුන් සහ වෘත්තිකයන් සඳහා සංසදයක් ලෙස සේවය කර ඇති බවයි.

කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් පැවසුවේ, කැනඩාව ද්විභාෂා රටක් ලෙස NEALP ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාව සමඟ සිය අත්දැකීම් බෙදාගත් බවයි.

මෙම සම්මන්ත්‍රණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, කුලසිංහම් තිලීපන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, නිලධාරීන්, විද්වතුන් සහ සිසුන් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT