නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී චීවරධාරියකු සහ කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා නවයක් යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා පෙරේදා (08) දින නියෝග කළේය.
සැකකරුවන් අට දෙනා එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අදාල සැකකරුවන් නවගමුව පොලිස් වසමේ රාස්සපාන පාර, ඉහළ බෝමිරිය, ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ පල්ලේගම සුමන නමැති චීවරධාරියෙකුට සහ එහි සිටි කාන්තාවන් දෙදෙනකුට විහාරස්ථානය තුළදී පහරදීම, අයුතු ඇතුළුවීම, අයුතු ජනරාශිය, ලිංගික අතවරය, සාපරාධි බියගැන්වීම, අඩන්තේට්ටම් සිදුකිරීම, අයුතු අවහිරය, විහාරස්ථානයේ දේපළවලට අනර්ථය සිදු කිරීම හා අසභ්‍යය වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම යන චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නවගමුව පොලිසිය කටයුතු කර තිබුණි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන විතානගේ රසික හේමන්ත, ගුරුසිංහ ආරච්චිගේ අජිත් රංගජීව, මද්දුමගේ විජේසේන, අරඹවත්තගේ චමින්ද රුද්‍රිගු, අරඹවත්තගේ ඉමාන් නිලුක්ෂ රුද්‍රිගු , සේනාධීරලාගේ දොන් නික්සන් අප්පුහාමි, රොහාන් උදයංක ද සිල්වා වීරක්කොඩි, විජේරත්න මුදියන්සේලාගේ දිලාන් සුරංග යන අයයි.
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් විසින් වැඩබලන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ තම පාර්ශ්වයට ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා කාලය අවශ්‍ය බවය.
ඒ අනුව එම පැමිණිලි ද ලබන 12 වෙනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙසද වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.
ඉකුත් 06 දා රාත්‍රී කාලයේදී මෙම සිදුවීම සිදුව ඇති බවද පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන මහතා පෙනී සිටින ලදී.
මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි,
නවගමුව සමූහ – සුගත් ප්‍රේමතිලක
827