ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ස්ථාන දෙකක් වෙනුවෙන් සිම්බාබ්වේහිදී පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී අපරාජිතයන් ලෙස ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
දසුන් ශානකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පිට පිට ජය ගත් 10 වැනි එක්දින තරගය මෙය වන අතර, ශ්‍රී ලංකාව අඛණ්ඩව එක්දින තරග 10ක් ජය ගත් තෙවැනි අවස්ථාව ලෙස ද මෙය වාර්තා අතරට එක් විය. මින් පෙර මාවන් අතපත්තු (2004/2/29 – 2004/7/23) සහ ඇන්ජලෝ මැතිව්ස් (2013/12/27 – 2014/5/6) නායකත්වයෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව තරග 10ක් ජය ගෙන තිබිණි.
මේ ජය සමඟ ලෝක එක්දින ක්‍රිකට් පිටියේ පිට පිට තරග 10කදී ප්‍රතිවාදී පිල ලකුණු 250 සීමාවට පෙර දවාලූ පළමු කණ්ඩායම ලෙස වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත් විය. මින් පෙර එම වාර්තාවට හිමිකම් කී පාකිස්තානය දෙවරක් අඛණ්ඩව තරග 9කදී එම වාර්තාව තබා තිබිණි.
හරාරේහිදී ඊයේ පැවති තරගාවලියේ අවසන් මහා තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 128ක දැවැන්ත ජයකින් ශ්‍රී ලංකා පිල ශූරතාව දිනා ගත්තේය. තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 234ක ඉලක්කය හමුවේ නෙදර්ලන්තයට ඕවර 23.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 105ක් පමණි.
නෙදර්ලන්ත පිළිතුරු ඉනිමේදී පිතිකරුවන් තිදෙනකු පමණක් ලකුණු 10 සීමාව පසු කළ අතර, ලකුණු 33ක් රැස් කළ මැක්ස් ඕ’ඩවුඩ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.
මුළු ලකුණු 85දී ඕ’ඩවුඩ් පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ මහීෂ් තීක්ෂණ තවත් ලකුණු 20ක් තුළ ඉතිරි පිතිකරුවන් තිදෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගත්තේය.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 4ක්, ඩිල්ෂාන් මධුශංක කඩුලු 3ක් සහ වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත්හ.
ඊයේ බිඳ දැමූ කඩුලු 4ත් සමඟ මේ තරගාවලියේදී තීක්ෂණ දවාගත් කඩුලු සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගිය අතර, ඔහු කඩුලු ලාභීන් අතර දෙවැනි තැනට පත් විය. එහි පළමු ස්ථානය හිමි වූ වනිඳු හසරංග දවාගත් කඩුලු සංඛ්‍යාව 22කි.
පැතුම් නිශ්ශංක සමඟ දිමුත් කරුණාරත්න වෙනුවට ඊයේ ඉනිම ඇරඹූ සධීර සමරවික්‍රම පළමු කඩුල්ලට ලකුණු 39ක් එක් කළ අතර, ඉන් ලකුණු 5ක් තුළ ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට වික්‍රම්ජීත් සිංට හැකි විය. සධීර ලකුණු 19ක් සහ පැතුම් ලකුණු 23ක් රැස් කළහ.
අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් මංගල එක්දින ජාත්‍යන්තර ඉනිම ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ අර්ධ ශතක සබඳතා දෙකක් ගොඩනඟමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
සහන්, කුසල් මෙන්ඩිස් සමඟ තෙවැනි කඩුල්ලට ලකුණු 72ක් එක් කළ අතර, ලකුණු 43ක් රැස් කළ මෙන්ඩිස් දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. අනතුරුව සහන්ට එක් වූ චරිත් අසලංක ලකුණු 64කින් ගොඩනැඟූ සබඳතාව නිමා වූයේ සහන් දැවී යෑමෙනි. ඔහු සිය මංගල අර්ධ ශතකය ලෙස පන්දු 71කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් රැස් කළේය.
නෙදර්ලන්ත පන්දු යවන්නන් හමුවේ වෙනත් කිසිදු පිතිකරු යුගලයකට සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට අවස්ථාවක් නොලැබුණු අතර, අවසන් කඩුලු 7 ලකුණු 53ක් තුළ බිඳ වැටිණි.
සහන්ගේ දැවී යෑම සමඟ ලකුණු 10ක් තුළ කඩුලු 4ක් අහිමි වීමෙන් ශ්‍රී ලංකා පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව ද අහිමි විය.
චරිත් අසලංක (36) සහ ධනංජය ද සිල්වා (4) මුළු ලකුණු 190 වෙද්දී යළි ක්‍රීඩාගාරයේ අසුන් ගනිද්දී දිගින් දිගටම පිතිකරණයෙන් සිය වගකීම ඉටු නොකළ නායක දසුන් ශානකට ඊයේ රැස් කළ හැකි වූයේ එක් ලකුණක් පමණි. මේ තරගාවලියේ තරග 5දී ඔහු රැස් කළේ ලකුණු 12ක් පමණි. එම ඉනිම 1, 5, 0, 5 සහ 1ක් ලෙස සටහන් විය.
වනිඳු හසරංග පන්දු 21කින් ලකුණු 29ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 13ක් රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 233 දක්වා ඉදිරියට ගෙන ගියහ.
නෙදර්ලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම තුළදී ලබා දී තිබුණේ අතිරේක ලකුණු 4ක් පමණි.
ආබාධයක් හේතුවෙන් දිමුත් කරුණාරත්න ඊයේ තරගයට එක් නොවූ අතර, දුෂාන් හේමන්තත් ඉවත් කරමින් ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග යළි කැඳවා තිබිණි.
අවසන් තරගයේ වීරයා ලෙස ඩිල්ෂාන් මධුශංක නම් කළ අතර, තරගාවලියේ වීරයා සම්මාන සිම්බාබ්වේ කණ්ඩායමේ ෂේන් විලියම්ස්ට හිමි විය.
ශ්‍රී ලංකාව
පැතුම් නිශ්ශංක ඇ.ඩච් ප.සිං 23
සධීර සමරවික්‍රම ඇ.ක්‍රෝස් ප.සිං 19
කුසල් මෙන්ඩිස් ක.මු.ක. ප.සුල්ෆිකර් 43
සහන් ආරච්චිගේ ඇ.බීක් ප.සුල්ෆිකර් 57
චරිත් අසලංක දුවද්දි දැවී ගියා 36
ධනංජය ද සිල්වා ප.ක්ලයින් 4
දසුන් ශානක ඇ.සිං ප.බීක් 1
වනිඳු හසරංග ඇ.ඕ’ඩවුඩ් ප.ක්ලයින් 29
මහීෂ් තීක්ෂණ ස්ට.එඩ්වර්ඩ්ස් ප.ඩච් 13
මතීෂ පතිරණ ඇ.ක්‍රෝස් ප.බීක් 4
ඩිල්ෂාන් මධුශංක නොදැවී 0
අතිරේක 4
එකතුව සියල්ලන් දැවී (ඕවර 47.5) 233
කඩුලු බිඳ වැටීම: 1-39, 2-44, 3-116, 4-180, 5-181, 6-183, 7-190, 8-222, 9-232, 10-233
පන්දු යැවීම: බීක් 10-0-40-2, ක්ලයින් 9-1-42-2, ඩච් 9.5-0-51-1, සිං 4-0-12-2, ෆ්ලොයිඩ් 5-0-28-0, සුල්ෆිකර් 10-1-59-2.
නෙදර්ලන්තය
වී. සිං ඇ.අසලංක ප.මධුශංක 13
එම්. ඕ’ඩවුඩ් ප.තීක්ෂණ 33
ඩබ්. බැරේසි ප.මධුශංක 0
ටී. නිදමනුරු ක.මු.ක. ප.හසරංග 0
එන්. ක්‍රෝස් ක.මු.ක. ප.මධුශංක 7
එස්. එඩ්වර්ඩ්ස් දුවද්දි දැවී ගියා 1
එස්. සුල්ෆිකර් ක.මු.ක. ප.හසරංග 6
එල්. බීක් නොදැවී 20
ආර්. ක්ලයින් ක.මු.ක. ප.තීක්ෂණ 2
ඒ. ඩච් ක.මු.ක. ප.තීක්ෂණ 0
සී. ෆ්ලොයිඩ් ක.මු.ක. ප.තීක්ෂණ 9
අතිරේක 14
එකතුව සියල්ලන් දැවී (ඕවර 23.3) 105
කඩුලු බිඳ වැටීම: 1-25, 2-31, 3-32, 4-39, 5-41, 6-49, 7-85, 8-93, 9-93, 10-105
පන්දු යැවීම: මධුශංක 7-1-18-3, තීක්ෂණ 6.3-1-31-4, හසරංග 7-1-35-2, පතිරණ 3-0-16-0.