Home » උපන් දින එස්.එම්.එස් සුබ පැතුමේ බහින්බස් වීම පෙම්වතියගේ පියාට මරු කැඳවයි

උපන් දින එස්.එම්.එස් සුබ පැතුමේ බහින්බස් වීම පෙම්වතියගේ පියාට මරු කැඳවයි

සැකකරු පිහි මිටත් සමඟ පොලිස් අත්අඩංගුවේ

by admin
July 10, 2023 1:01 am 0 comment

සැකකරු රැකියාවට ගියෙත් පෙම්වතියගේ සහ ඇගේ පියාගේ කැමැත්ත මත ඔවුන්ගේ නිවෙසේ සිට

මුහුණුපොත හරහා පෙම්වතුන් වෙලා

අඟල් හතරක පමණ පිහි තලය පියාගේ උදරයේ හිර වෙලා

‘ඔයාට සුබම සුබ උපන්දිනයක්’ යැයි ජංගම දුරකතනයකට පැමිණ තිබූ කෙටි පණිවිඩයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව පෙම්වතා විසින් පෙම්වතියට සහ ඇයගේ පියාට උල් පිහියකින් ඇනීමෙන් පියා මිය ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.

25 හැවිරිදි සැකකරු පිහි මිටත් සමඟ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස මිය ගොස් තිබුණේ අවිස්සාවේල්ල, තුම්මෝදර, බදුවත්ත, හේවාකිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයි. ඩී. චන්ද්‍රපාල නමැති 61 හැවිරිදි හය දරු පියෙකි. කාන්තාව බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

බරපතළ තුවාල ලද 22 හැවිරිදි කාන්තාව දික්කසාද වූ තැනැත්තියක් බවත් මීට මාස තුනකට පමණ ඉහතදී මුහුණුපොත හරහා සැකකරු දැන හඳුනාගෙන පෙම්වතුන් බවට පත්ව තිබූ බවත් පොලිසිය කියයි.

ළමා නිවාසයක හැදී වැඩුණු තමන්ට මවුපියන්, සහෝදර සහෝදරියන් කිසිවෙක් නොමැති බවත් විවාහක පුද්ගලයකු වන තමන්ට දරුවන් ද නොමැති බවත් මේ වන විට බිරියගෙන් වෙන් වීමට දික්කසාද නඩුවක් ගොනු කර ඇති බවත් එයින් නිදහස් වී කාන්තාව විවාහ කර ගන්නා බවට පොරොන්දු දී තිබී ඇති බවත් පොලිසිය කියයි.

අවිස්සාවේල්ල, තුම්මෝදර ප්‍රදේශයේ උද්භිද උද්‍යානයක ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස රැකියාව කර තිබූ සැකකරු කාන්තාවගේ සහ ඇයගේ පියාගේ කැමැත්ත මත කාන්තාවගේ තුම්මෝදර, බදුවත්ත නිවෙසේ සිට රැකියාවට යෑමට ඒමට කටයුතු කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉකුත් සිකුරාදා (07) සැකකරුගේ 25 වෙනි උපන්දිනය යෙදී තිබූ අතර, සැකකරු රැකියාව නිමවා පැමිණ නිවෙස තුළ කාමරයක නිදාගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

ඔහු නින්දට ගිය අවස්ථාවේදී පෙම්වතිය විසින් ඔහුගේ ජංගම දුරකතනය ගෙන පරීක්ෂා කරමින් සිටියදී ‘ඔයාට සුබම සුබ උපන්දිනයක්’ යැයි කාන්තාවක් විසින් කෙටි පණිවිඩයක් එවා තිබෙනු දැක පෙම්වතිය විසින් දුරකතනය පොළොවේ ගසා නිදා සිටි සැකකරුට පා පහරක් එල්ල කර අවදි කර ඒ පිළිබඳ විමසා ඇත. එහිදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදු වී ඇතැයි පොලිසිය කියයි. සැකකාර පුද්ගලයා එක වරම ඔහුගේ ගමන් බෑගයේ තිබූ උල් පිහිය ගෙන කාන්තාවගේ උදර ප්‍රදේශයට ඇන ඇති අතර ‘මට පිහියෙන් ඇන්නා’ යැයි ඇයගේ කෑ ගැසීමත් සමඟම නිවෙස ඉදිරිපිට සිටි පියා ‘කවුද යකෝ මගේ කෙල්ලට පිහියෙන් ඇන්නේ’ යැයි පවසමින් නිවෙසට දිව ඒමත් සමඟම නිවෙසේ සාලයේදී සැකකරු විසින් පියාගේ ද උදර ප්‍රදේශයටම පිහියෙන් ඇන ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී පිහියේ අඟල් හතරක් පමණ වන තලයේ කොටස කැඩී ගොස් මිය ගිය පියාගේ උදරයේ සිරවී ඇති අතර, මිට පමණක් සැකකරුගේ අතට පත්වී ඇති බව පොලිස් නිලධාරියකු පැවැසීය.

බරපතළ තුවාල ලද පියා සහ දියණිය අසල්වාසී තරුණයන් විසින් ත්‍රිරෝද රථ දෙකකින් අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන එන විටත් පියා මිය ගොස් සිට ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. පුද්ගලයකු දෙදෙනකුට පිහියෙන් ඇන ඇති බවට අවිස්සාවේල්ල පොලිසියට ලද තොරතුරක් අනුව සංඛ්‍යාත්මක වූ පොලිස් නිලධාරීන් එම නිවෙස වෙත පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. සිද්ධිය වූ නිවෙසට පැමිණි අවිස්සාවේල්ල අධිකරණයේ වැඩ වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ රත්නායක මහතා මූලික විමර්ශන පවත්වා සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. ජේ. කොඩිතුවක්කු, සහකාර පොලිස් අධිකාරි එස්. කේ. ජයවර්ධන මහත්වරුන්ගේ උපදෙස් මත අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. එම්. පී. සී. ජයලත්, විවිධ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජී. ඒ. එස්. එම්. මෙන්ඩිස්, පොලිස් පරීක්ෂක සෝමරත්න, පොලිස් සැරයන් 48757 ජයවර්ධන, කොස්තාපල්වරුන් වන 35620 විජේරත්න සහ 96832 සෙනරත් මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT