ගම්පහ මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී සැක කටයුතු අන්දමින් මිය ගොස් සිටින දින 22ක් වයසැති පිරිමි දරුවා තම දරුවා නොවන බවත් එම නිසා මළසිරුර බාරගැනීමට නොහැකි බවත් ගම්පහ මහ රෝහලේ දී 08 වෙනිදා පස්වරුවේ පැවැති මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී මියගිය දරුවාගේ මාපියෝ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ දී පැවසීය. ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති දින 22 ක් වයසැති බිලිඳු මළ සිරුර සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලෙසට ගම්පහ පොලිසිය 8 වැනිදා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරනු ලැබීය. ඒ අනුව ගම්පහ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මියගේ උපදෙස් මත ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා ගම්පහ පොලිසියේ මග පෙන්වීම මත ගම්පහ රෝහල වෙත ගොස් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ ළදරු මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුර හඳුනා ගන්නා ලෙසට මව්පියන්ට දැනුම් දි තිබේ. ළදරුවාගේ මෘත දේහය පරීක්ෂාවට ලක් කළ මාපියන් මළ සිරුර තම දරුවාගේ නොවන බවත් ඒ නිසා බාරගැනීමට නොහැකි බව පැවසීමෙන් අනතුරුව මෘතදේහය සුරක්ෂිතව මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබන ලෙසට වැඩබලන මහේස්ත්‍රාත්වරයා රෝහල් බලධාරීන්ට නියම කළේය. මෘත දේහය සහ මාපියන් (ඩී.එන්.ඒ.) ජෛව පරීක්ෂණයකට යොමු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර එම ජෛව පරීක්ෂණය සිදු කර වාර්තාව එළැඹෙන 17 වැනි දාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට වැඩබලන මහේස්ත්‍රාත්වරයා ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියම කළේය. මියගිය ළදරුවාව මව විසින් ප්‍රසූත කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී අනාවරණය විය. මවට සිදුකළ සිසේරියන් සැත්කමක් මගින් මියගිය දරුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී උපත ලත් බවත් දරුවා ඉපදීමෙන් අනතුරුව නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කිරීමට ජයවර්ධනපුර රෝහල් බලධාරීන් කටයුතු කර පසුව ගම්පහ රෝහල වෙත දරුවාව මාරු කර ඒවා ගම්පහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී දරුවා මියගොස් ඇති බවට මූලික මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ දී වැඩිදුරටත් අනාවරණය විය. මියගිය ළදරුවාගේ දෙමාපියන් ගම්පහ පරාක්‍රම පාරේ පදිංචිකරුවන් බවට ද මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී අනාවරණය විය. මියගිය ළදරුවාට ප්‍රතිකාර කරනු ලැබූ ජයවර්ධනපුර රෝහලේ සහ ගම්පහ මහ රෝහලේ වෛද්‍ය සහ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියම කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා මියගිය දරුවා සහ ඔහුගේ මව්පියන්ගේ ජෛව සාම්පල වාර්තා සහ පරීක්ෂණවල ප්‍රගතිය එළැඹෙන 17 වැනිදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියම කෙරුණි. ගම්පහ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (කාන්තා) ප්‍රදීපා නිලන්ති නිලධාරිනිය ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මහේස්ත්‍රාත් පරීක්ෂණයට සහාය වූහ.
ගම්පහ සමූහ – ටෝනි කරුණානායක