“මහත්තයො මේ තමයි අපේ ජීවිතේ. අපි හැදුණේ වැඩුණේ මේ පිනෙන්. ඒත් දැන් අපි අමාරුවෙන් ඉන්නේ. මම තාම දවාලට කෑවේ නෑ. බඩගින්නේ ඉන්න අවස්ථා ගොඩක් තියෙනවා”
තින්නෝරු අහුරක් සුරතට ගත් සිංගාරවේලු මුරුගයියා එය වමත මතට ටිකෙන් ටික හැලූවේ මහත් වූ ගෞරවයකින් යුතුවය. හැඟීම්බර මුවෙන් යුතුව මදක් නිහඬව සිටි ඔහු හඬ අවදිකළේ මහා වේදනාවක් මුදාහරින්නා සේය.
දිගු සුසුමක් වාතලයට මුදාහළ මුරුගයියා යළි කතාව පටන්ගත්තේ බිඳුණු ස්වරයෙනි.
“මම බැඳලා ඉන්නේ සිංහල කාන්තාවක්. 1982 දී මම තින්නෝරු කඩන්න පටන්ගත්තේ. එදා හුණ්ඩුවක් ශත 50 ට තමයි දුන්නේ. අද යාපනයට කොට්ටයක් 1500 දෙන්න පුළුවන්. ඒත් දැන් තින්නෝරු බිම් මිනිස්සු ටිකින් ටික අල්ලා ගන්නවා. පවිත්‍රව තිබූ දෙවියන් වෙනුවෙන් වෙන්වූ භූමියේ වැසිකිළි පවා ඉදිකරනවා. ඉතිං කොහොමද අපි ඉදිරියක් ගැන හිතන්නේ”
මුරුගයියාගේ නෙතු අගින් යළි කඳුළු කඩාවැටෙන්නේ තමන් පත්වෙමින් සිටින අසරණබව මනාව පෙන්වාදෙමිනි.
සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම කතතෝලික ප්‍රජාව ද තම ආගමික වත්පිළිවෙත් සඳහා එක්වන ලෝකයේ ඇති එකම සර්ව ආගමික මාධ්‍යස්ථානය වන්නේ ඓතිහාසික රුහුණු කතරගම පුදබිමයි. සියලු දෙනාගේම වන්දනාමානයට ලක්වෙන මෙම පුණ්‍ය භූමිය ජනතාවගෙන් පිරී යන්නේ ඇසළ පෙරහර මංගල්‍යයත් සමඟ ය.
ඇසළ පෙරහර මංගල්‍යයත් සමඟ සිදුවන පුදුමය දනවන සිදුවීමක් වන්නේ පෙරහර මඟුල සඳහා කප්සිටුවීමේ චාරිත්‍රයත් සමඟ පුදබිම ආශ්‍රිත දෙටගමුව කොච්චිපතාන් ප්‍රදේශයේ දෙවියන් වෙනුවෙන් තින්නෝරු මතුවීමයි. එය ආශ්චර්යයකි. දේවාර්ශීර්වාදය පතා රුහුණු කතරගම පුදබිමට පැමිණෙන සර්වාගමික බැතිමතුන්ට දේවාලයන්හි කපුරාලලා ආශිර්වාද කරන්නේ තින්නෝරු බිඳක් නළලේ තැවරීමෙනි.
සර්වාගමික සමඟියේ තොතැන්ක්වූ රුහුණු මහා කතරගම පුදබිමේ ආශ්වර්යයක් බඳු තින්නෝරු දසක ගණනක සිට දේවාශිර්වාදය ලබාදීම සඳහා යොදාගත්ත ද අද එය තින්නෝරු නෙළන්නන්ගේ කඳුළු කතාවක් බවට පත්වෙමින් ඇත්තේ ඇතිවෙමින් තිබෙන විනාශකාරී තත්ත්වයක් ද සමඟය.
“මේවා අපිට ලැබිච්ච නින්දගම්. අතීතයේ අක්කර සියයක් තිබුණු බව කියනවා. පසුව එය හැත්තෑ පහක් වෙලා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලයේ තොරතුරු අනුව අද වන විට එය අක්කර පනස් පහක් (55) බවට පත්ව තිබෙනවා. මෙන්න මේ අක්කර පනස් පහකින් යුතු දෙවියන් වෙනුවෙන් වෙන්වුන තින්නොරු භූමිය තමයි මේ කොළඹින් හා වෙනත් ප්‍රදේශවලින් ඇවිත් අල්ලා ගෙන, වැටකඩුලු දාගෙන මහ කැලේ කපල ගෙවල් හදමින් විනාශ කරන්නේ. මේ විනාශය නතර කළ යුතුයි”
වසර කීපයක සිට තින්නෝරු භූමිය ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුමට නායකත්වය දෙමින් සිටින පනස් දෙහැවිරිදි මාරියප්පන් වනිගරත්න හෙවත් මනී පැවසුවේය.
රුහුණු කතරගම පෙරහර පැවැත්වීමේ ප්‍රධාන අරමුණු හතරකි. ඒ අපල උපද්‍රව දුරු කිරීම, දේවාශිර්වාදය ලැබීම, රටට සෙත් පැතීම, වර්ෂාව හා සශ්‍රීකත්වය ලබා ගැනීම මෙන්ම ස්වභාවික විපත්වලින් රට බේරා ගැනීම ය. එහෙත් අද වන විට පස්වැනි අරමුණක් ද ගොනු වෙමින් ඇත්තේය. ඒ දෙවියන් වෙනුවෙන් පෙරහර කාලයට මතුවන තින්නෝරු නිධි ආරක්ෂා කර ගැනීමය.
සිදුවෙමින් ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ කළ විමසුමේදී කතරගම වැඩබලන ප්‍රාදේශී ලේකම් හා මොනරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා මෙලෙස පැවසුවේය.
“තින්නෝරු ඉඩම් ප්‍රශ්නය පොඩි ගැටලුවක් බවට පත්වෙමින් ඇති බව හඳුනා ගෙන තිබෙනවා. අනවසර වගාකරුවන් විසින් මෙම තත්ත්වය ඇති කර ඇති බව ආරංචියි. ඒ ගැන නිරීක්ෂණය කර කිඩිනමින් මිණුම් කටයුතු සිදුකර රක්ෂිතයක් බවට පත්කර මාසයක් ඇතුලත එය දේවාලයට භාරදීමට අවශ්‍ය කටයුතු කරනවා”
ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ
1.8K