Home » අර්බුදය හඳුනා ගන්න විධිමත් සාකච්ඡාවක් නෑ – හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර

අර්බුදය හඳුනා ගන්න විධිමත් සාකච්ඡාවක් නෑ – හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර

by admin
July 10, 2023 1:00 am 0 comment

වත්මන් අර්බුදය හඳුනා ගැනීමට විධිමත් සාකච්ඡාවක් අප රට තුළ සිදු නොවන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්දා (04) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති එම පක්ෂයේ අසූවැනි සංවත්සරයට සමගාමීව විදේශ නියෝජිත හමුවකින් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණසේකර මහතා මෙසේද කීය. අපේ පක්ෂයේ අසූවැනි සංවත්සරයට සහභාගි වීම සඳහා මේ වන විට දකුණු ආසියාවේ රටවල කොමියුනිස්ට් පක්ෂවල නායකයන්, නියෝජිතයන් පැමිණ සිටිනවා. ඒ අනුව ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය, මාක්ස්වාදී පක්ෂය, බංග්ලාදේශයේ කොමියුනිස්ට් පක්ෂය, නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය හා චීන කොමියුනිස්ට් පක්ෂවල නියෝජිතයන් පැමිණ සිටිනවා. පාකිස්තානයේ හා ඇෆ්ගනිස්තානයේ කොමියුනිස්ට් පක්ෂවලට ආරාධනා කළේ නැහැ. ඒ රටවල තිබෙන සුවිශේෂ තත්ත්වයන් නිසා.

අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තා ඒ අයගේ අත්දැකීම් හා අපේ අත්දැකීම්, අදහස් බෙදාහදා ගන්න. අපේ සියලු දේශපාලන පක්ෂවලටත් ආරාධනා කළා මේ අවස්ථාවට එකතු වන්න කියලා. ඒ අයත් සහභාගි වුණා. මේ සියලු පක්ෂ හා අපි ජාත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂවල සාමාජිකයන්. එක්දහස් නවසිය විසි ගණන් තිස් ගණන්වල අපි සියලු දෙනා එකට වැඩ කළ අයයි.

මෙහිදී ඒ ඒ රටවල දේශපාලන තත්ත්ව, ගෝලීය දේශපාලනය අනුව අපි සියලු දෙනාටම බලපාන පොදු කරුණු, භූ දේශපාලන අභියෝගයන්, වර්තමානයේ ජාත්‍යන්තර තත්ත්වය එය වේගයෙන් වෙනස් වන එකක් බැවින් ඒ ගැන කතා කළා. අපි ආර්ථික තත්ත්වයකට මුහුණ දී තිබෙන මෙම අවස්ථාවේ වත්මන් ජාත්‍යන්තර තත්ත්වය වැදගත් වෙනවා.

අපි දැන් වසරක පමණ කාලයක් තිස්සේ ණය ආපසු ගෙවන්නේ කොහොමද යන්න සාකච්ඡාවක යෙදී සිටිනවා. මේ අර්බුදය ඇතිවූ හේතු දෙකක් තිබෙනවා. විදේශ විනිමය අර්බුදය, ණය අර්බුදය හා අපේ ආදායම් අර්බුදය, මේ නිසා ඇතිවූ අර්බුදය වුණත් අපිට වසරක කාලයක් තිස්සේ පෙනෙනවා. රට තුළ සාකච්ඡා වෙන ආකාරයත්, දේශපාලන පක්ෂ සාකච්ඡා කරන ආකාරය දෙස බලන විටත් මේවා මතුපිටින් තමයි සාකච්ඡා කෙරෙන්නේ. ඒකට හේතුව දූෂණය. කළමනාකරණ ප්‍රශ්නවලට මේක ලඝු කළත් මෙහි මූලිකවම තිබෙන්නේ ආර්ථික උපායමාර්ගික පිළිබඳ ප්‍රශ්නයක්. උපායමාර්ගය තුළ ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක් කියන එක යටපත් වෙලා තිබෙනවා. අපේ ආර්බුදයට ජාත්‍යන්තර පැතිකඩක් තිබෙනවා. ඒක අපේ බොහෝ දේශපාලන පක්ෂ කතා කරන්නේ නැහැ. මොකද ලෝක ආර්ථික අවපාතයක් තිබෙන වේලාවක්. ඒ අවපාතය අපේ ආර්ථිකයටත් බලපානවා. අපි කොයිතරම් හොඳට ආර්ථිකය කළමනාකරණය කළත් ලෝක ආර්ථිකයේ අවපාත කම්පනය අපිට ලැබෙන විට අපේ ආර්ථිකයටත් බලපානවා. ඒ පිළිබඳ අපිට දැනගැනීමට අවශ්‍ය වුණා.

එම කරුණුත් සමඟම ජාත්‍යන්තරයේ අලුත් ලෝක ආර්ථික රටාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. මේක අපේ රටේ කතා වෙන්නේ නැහැ. ආණ්ඩුව කතා කරන්නෙත් නැහැ. ආසියානු ආර්ථිකය ලෝක ආර්ථිකයේ ප්‍රධාන බලවතා. වසර පන්සීයකට පස්සේ මේ මහා විශාල වෙනසක්. ඒ ගැන කිසිම තැකීමක් නැහැ. තවම බලන්නේ එක්දහස් අටසිය ගණන්වල වගේ තේ ටික එංගලන්තයට අලෙවි කරන්නේ කොහොමද කියලයි. තිබෙන භාණ්ඩ අමෙරිකාවට විකුණන්නේ කොහොමද කියලා. නමුත් ආර්ථිකය තිබෙන්නේ ආසියාවේයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ සහ එම පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහත්වරු ද අදහස් දැක්වූහ.

ඡායාරූපය-ගයාන් පුෂ්පික

අනුර ප්‍රේමලාල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT