Monday, April 21, 2025
Home » ආණ්ඩුවේ යහපත් දේ ජනතාව වෙත ගෙන යෑමට අපේ පූර්ණ සහාය මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ යහපත් දේ ජනතාව වෙත ගෙන යෑමට අපේ පූර්ණ සහාය මන්ත්‍රී නාමල් රාජපක්ෂ

by admin
July 10, 2023 1:00 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික වශයෙන් රට යම් ස්ථාවරත්වයකට ගෙනැවිත් ඇති බවත් වත්මන් ආණ්ඩුවේ යහපත් දේ සියල්ල ජනතාව වෙත ගෙන යෑමට කටයුතු කිරීමට ආණ්ඩුවට සහාය දැක්වීම පොදුජන පෙරමුණේ වගකීම බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ආසන බලමණ්ඩල රැස්වීම පෙරේදා (08) අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.

පාර්ලිමේන්තුව ගිනි තැබීමට ආ පිරිසගෙන් කටඋත්තරයක්වත් ගැනීමට වත්මන් ආණ්ඩුවට තවමත් හැකි වෙලා නැහැ.

මගේ නිවෙසේ ඇති කළ බල්ලා සොරකම් කරගෙන ගිය පුද්ගලයාත් හිරේ ගියා. පාර්ලිමේන්තුව ගිනි තැබීමට ආ පුද්ගලයන්ගෙන් අඩු තරමේ කටඋත්තරයක්වත් ගැනීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආර්ථික වශයෙන් රට යම් කිසි ස්ථානයකට ගෙනල්ලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි අපි අතර ප්‍රතිපත්තිමය ගැටලුවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා අපි ඒ මොහොතේ තෝරා ගත්තේ පාර්ලිමේන්තුව තුළින් හොඳම විකල්පය හැටියටයි. හැබැයි මහින්ද රාජපක්ෂ මහතාගේ අවුරුදු 55ක දේශපාලන ප්‍රතිපත්තියත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අවුරුදු 45ක දේශපාලන ප්‍රතිපත්තියත් තවම වෙනස් වෙලා නැහැ. අපිට වගකීමක් තියෙනවා වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ජනතාවාදී ප්‍රතිපත්ති බවට පරිවර්තනය කරන්න. සමෘද්ධි ව්‍යාපාරය තුළින් මේ රටේ විශාල සහනයක් ලැබිලා තියෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ රටේ නායිකාව වෙනකොට අපේ රටේ දුප්පත්කම දරිද්‍රතාව සීයට විසිහයකට වැඩියි. ඒ නිසා එදා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරා. සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ රුපියල් පන්දහක් දීලා අයින් වෙන එක නෙමෙයි. සමෘද්ධි බැංකුව හරහා දුප්පත් අම්මාගේ, තාත්තාගේ දරුවා ව්‍යවසායකයෙක් හැටියට පත් කරනවා. අනෙක් පැත්තෙන් ඒ පවුලේ සමාජ ආරක්ෂණය සුරක්ෂිත කරනවා. අපි පිළිගන්නවා සමෘද්ධිය යාවත්කාලීන විය යුතුයි කියලා. සමෘද්ධිය ලැබිය යුත්තන්ට ලැබෙන්න ඕනෙ, නොලැබිය යුතු අයගෙන් අප ඒවා අයින් කරන්ඩ ඕනෑ. අස්වැසුම කියලා තව ව්‍යාපෘතියක් ඇවිල්ලා තියෙනවා. ඒක තෝරගෙන තියෙන ක්‍රමය වැරදියි. සමෘද්ධිලාභීන් ලක්ෂ දාහතක් ඉන්නවා අපේ රටේ. ඇස්වැසුමෙන් ලක්ෂ විසිහයකට සහන ලැබෙනවලු. නමුත් ලැබිය යුත්තාට ලැබිලත් නෑ. ඒ වුණාට පාරේ අරගල කරලා ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයාත් පසුගිය දවසක දිඹුලාගලදී විශාල ඇබැද්දියකට මුහුණ දුන්නා. දෙන්න ඕන ප්‍රමාණයත් වැඩි වෙලා එහෙනම්, අස්වැසුම දීලා තියෙන්නේ කොහොමද? ඒව තෝර ගත්තේ, කොහොමද? ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපි කියනවා මේ ආණ්ඩුවට මේ සමෘද්ධිය යාවත්කාලීන කරලා සුදුසු අයට ලබා දෙන්න කියලා. අස්වැසුම නවත්තන් නැතුව සමෘද්ධි ව්‍යාපාරයේ දැවැන්ත අරමුණත් එක්ක වැඩකටයුතු කරන්න ඕනෑ. ජනතාව වෙනුවෙන් අපි හදපු ප්‍රතිපත්ති, අරගලයෙන් පසුව මේ ආණ්ඩුව සිදු කරන්නෑ කියලත් කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනෑ. ඒ නිසා පොදුජන පෙරමුණ හැටියට අපිට වගකීමක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ ධනේශ්වර පන්තියේ ආර්ථික ප්‍රතිපත්ති, ප්‍රතිලාභ ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය නායකත්වය පාර්ලිමේන්තුවේ ලබා දීමට.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා,

එදා අරගලකාරයෝ විනාශ කෙරේ මේ රටේ ශක්තියයි. සංස්කෘතියයි. මහින්ද රාජපක්ෂ මහතා තමයි යුද්ධය අවසන් කරලා මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න අයිතිය ලබා දුන්නේ. ඒ විතරක් නොවේ ජනතාව ආර්ථික වශයෙන් නඟාසිටෙව්වේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයයි. මේ රටේ අයිතිය උරුමය ආරක්ෂා කරපු සංවර්ධනය කරපු දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවන්න ශක්තියක් වූ නායකයාට කට උල් කරලා හොරා කියද්දී, ඊට විරුද්ධව සටන් කළේ මේ රටේ මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන පිරිසයි.

වනජීවී අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ තරුණයන් මුළා ක‍රා. ඒ කට්ටියව හඳුන්වා ගන්නවා රෝන් ජෙනරේෂන් කියලා. ඒ කට්ටිය ආණ්ඩුවක් හදනවාලු. ප්‍රායෝගිකව ජනතා විමුක්ති පෙරමුණ කියන එක කරන්න පුළුවන්ද මගේ අම්මේ තාත්තේ. මාත් එක්ක කැබිනට් එකේ හිටියා අනුර කුමාර දිසානායක. සුනිල් හඳුන්නෙත්ති. විජිත හේරත්. ඒ අය මොනවද මේ රටට කරේ. කෘෂිකර්ම ඇමැතිකමකුත් අනුර කුමාරට තිබ්බා. මොකද කළේ එක වැවක්වත් හැදුවේ නෑ, පොලොන්නරුවට සල්ලි එව්ව තමන්ගේ සමිතියට. ජනතා විමුක්ති පෙරමුණ ගමේ එක කරපු වැඩක් නෑ. මහින්ද රාජපක්ෂ මහතා ආවට පස්සෙ ගොවියගෙ ප්‍රශ්නවලට තිත තිබ්බා. මේ රටේ කොවිඩ් වසංගතය අවසන් කිරීමෙන් පස්සේ විශාල සංවර්ධන විප්ලවයක් කරා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තමයි මේ රටේ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරාගත්තේ. අනිත් රටවල මිනිසුන් මැරෙන්න ඇරියා. ළමයි බලා ඉද්දි අම්මා තාත්තා ගෙදර මැරුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා කබනික පොහොර සම්බන්ධව ගත්තු තීන්දුවත් සමඟ යම් යම් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. නමුත් මේ පොඩි ප්‍රශ්නයත් එක්ක මේ රටේ එකතු වන බලවේගවලට එන්.ජී.ඕ. නඩවලට අපිට ගහන්ඩ බෑ කියලා අපි කියනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු ආසන බලමණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා විසින් සංවිධානය කර තිබූ අතර, මේ අවස්ථාවට සිරිපාල ගම්ලත්, තිස්ස කුට්ටිආරච්චි, පවිත්‍රා වන්නිආරච්චි යන මැති ඇමතිවරු සහභාගි වී සිටියහ.

මනම්පිටිය – නිමල් ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT