Home » නවක වද සිද්ධියට සැක පේරාදෙණිය සම සෞඛ්‍ය සිසුවා දිවි හානි කර ගැනීමේ උත්සාහය ගැන පරීක්ෂණයක්

නවක වද සිද්ධියට සැක පේරාදෙණිය සම සෞඛ්‍ය සිසුවා දිවි හානි කර ගැනීමේ උත්සාහය ගැන පරීක්ෂණයක්

by admin
July 10, 2023 1:33 am 0 comment

මෙයට මාස හයකට පමණ ඉහත දී නවක සිසුන් පිරිසකට අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ සහ ඡායාරූප යොමු කර ඔවුන් නවක වදයට ලක් කළ බව කියන සිද්ධියක සැකකරුවකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවකු නේවාසිකාගාරයේ දී ගෙල වැලලාගෙන මිය යාමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මඩකළපුව ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවා නවක වදය ලබාදීමේ සිද්ධියට අදාළව ප්‍රශ්න කිරීම සඳහා පසුගිය 07 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

මඩකළපුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සියදිවි හානි කරගැනීමට තැත් කළ සිසුවා විශ්වවිද්‍යාලයේ සේනක බිබිලේ නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇත.

ඔහු සමඟ කාමරයේ නවාතැන් ගෙන සිටි අනෙක් සිසුවා 07 දින රාත්‍රි 11.00ට පමණ ආහාර ගෙන ඒමට කාමරයෙන් පිටතට ගොස් තිබේ. යළි පැමිණි අවස්ථාවේ මිතුරා කාමරයේ දොර විවෘත නොකළ බැවින් ජනේලයකින් කාමරය තුළ බැලීමේ දී ඔහු බිම වැටී සිටිනු දුටු බවත් තවත් සිසු පිරිසකගේ සහාය ඇතිව කාමරයට ඇතුළු වී ඔහු රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් සියදිවි හානිකර ගැනීමට තැත්කළ සිසුවා සමඟ කාමරයේ සිටි අනෙක් සිසුවා පොලිසියට පවසා ඇත.

සියදිවි හානිකර ගැනීමට තැත්කළ සිසුවා මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවීම හේතුවෙන් සාමාන්‍ය වාට්ටුවකට යොමු කිරීමට වෛද්‍යවරු පියවර ගෙන තිබේ.

වට්ස්ඇප් මඟින් නවක සිසු පිරිසකට අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප යොමුකර ඒවා සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස ජ්‍යෙෂ්ඨ සිසු පිරිසක් ප්‍රකාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙයට මාස හයකට පමණ පෙර විශ්වවිද්‍යාලය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

ඒ සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබූ අතර, එහි දී ඊට සම්බන්ධ බවට සැක කළ සිසුන් තිදෙනකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි. එම සිසුන් තිදෙනා අතරින් එක් අයකු වන ගෙල වැලලා ගැනීමට තැත් කළ සිසුවා පසුගිය 07 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට පහර දී ජංගම දුරකතනය ද ඔවුන්ගේ භාරයට ගෙන තමන්ගේ ශිෂ්‍ය භාවය ද අහෝසි කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ බවත් ඒ සම්බන්ධයෙන් සිත් තැවුලට පත්ව තමන් සියදිවි හානි කරගැනීමට උත්සාහ කළ බවත් සිසුවා පොලිසියට පවසා තිබේ.

නවක සිසුන් නිරුවත් කර ඡායාරූප ලබා ගැනීමක් සම්බන්ධයෙන් මෙම සිසුවාගෙන් ප්‍රශ්න කිරීමට සිදුව ඇති බවත් අවස්ථා කිහිපයකදීම මෙම සිසුවාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඔහු විසින් පරිහරණය කළ ජංගම දුරකතනය ඉල්ලා සිටියදී ඒ සෑම අවස්ථාවකදීම ඔහු දුරකතනය ලබා නොදී මඟහැර ඇති බවත් පරීක්ෂණවලදී පෙනී ගොස් තිබේ. පසුගිය 07 වෙනිදා ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට සැබෑ දුරකතනය ලබාදී ඇති බවක් තහවුරු නොවන බව තහවුරු වී ඇති අතර, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සිසුවාට පවසා ඇත්තේ විමර්ශනයන්ට අවශ්‍ය දුරකතනය තවදුරටත් සඟවා තබා ගන්නේ නම් උසාවියට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි. එසේ වුවහොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමටද අවස්ථාවක් නොමැති බවත් සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු කීවේය. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පරීක්ෂණ දෙකක් ආරම්භ කර ඇත.

අසේල කුරුළුවංශ, ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT