අසල්වැසි නිවසක සෙල්ලම් කරමින් සිටියදී ඇති වූ රණ්ඩුවකදී වයස අවුරුදු 12 ක දැරියක් විසින් විසි කරන ලද යකඩ කූරක් හිසට වැදී බරපතළ තුවාල ලබා වයස අවුරුදු 10ක පාසල් සිසුවකු මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අංක 115, නුගවැල පාර, කටුවපිටිය පදිංචිව සිටි ගජසිංහගේ සේනාල් රන්දිත වෙනුරුවන් සිල්වා (අවුරුදු10 මාස 5) නමැති පාසල් සිසුවෙකි.
මෙම දරුවන්ගේ මවුවරු විදේශ රැකියාවල නියුක්ත බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මියගිය දරුවා කටුවපිටිය සාන්ත සෙබස්තියන් විදුහලේ 6 වැනි වසරේ ඉගෙනුම ලබයි. සිද්ධියට සම්බන්ධ දැරියද එම නිවසට යාබද නිවසේ පදිංචිව සිටියි. බොහෝ දිනවල මෙම මියගිය දරුවා පාසල් ඇරී නිවසට පැමිණ මෙම දැරිය සමඟ සෙල්ලම් කරන බවද පැවසේ. සෙල්ලම තුළ දෙදෙනා අතර නිතර දබර කර ගැනීම් ද ඇති වී තිබේ. මෙලෙස පසුගිය 4 වැනිදා පාසල නිමවා පැමිණි මෙම සිසුවා දැරිය සමඟ සෙල්ලම් කරමින් සිට ඇති කරගත් රණ්ඩුවක් හේතුවෙන් මෙම දැරිය පිරිමි දරුවා දෙසට යකඩ කූරක් විසි කිරීමෙන් මෙම තුවාලය සිදු ව ඇතැයි පොලිස් වාර්තාවල සඳහන් වේ. යකඩ කූර දකුණු පස කනට උඩින් වැදී දරුවා සිහිසුන්ව සිටි බවද පොලිසිය සඳහන් කළේය.
ඩී මිහිඳුකුල – කොච්චිකඩේ