Home » ඉන්දීය ධීවරයෝ 15ක් නාවික දැලේ ධීවර යාත්‍රා 2කුත් අල්ලයි

ඉන්දීය ධීවරයෝ 15ක් නාවික දැලේ ධීවර යාත්‍රා 2කුත් අල්ලයි

by admin
July 10, 2023 1:00 am 0 comment

නාවික හමුදාව මඟින් උතුරු මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයන් පහළොස් දෙනකු පෙරේදා (08) අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමක් මඟින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයන් පහළොස් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන්ව මයිලඩි, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

ඉන්දීය ධීවරයන් විසින් නීති විරෝධී ලෙස අල්ලා ගන්නා ලද මසුන් කිලෝග්‍රෑම් 1200ක් පමණ ද ධීවරයන් සතුව තිබූ ජංගම දුරකතන, මුදල් හා වෙනත් භාණ්ඩ කීපයක් ද නාවික හමුදාව මඟින් එම ධීවරයන් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 වර්ෂයේ මේ දක්වා කළ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 12ක් සමඟ ඉන්දීය ධීවරයන් 74ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති අතර, මෙරට සාගර පරිසරයේ ආරක්ෂාව සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැක දීම වෙනුවෙන් නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදු කරනු ලබන බව ද නාවික හමුදාව ප්‍රකාශ කරයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT