ලෝකයේ ඇති වූ අරගල හමුවේ බොහෝ රාජ්‍ය බිඳවැටී වසර ගණනාවක් අරාජිකව පැවතුණද, ශ්‍රී ලංකාව වසරක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය හේතු වූ බව පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසට ගිනි තැබූ සහ මහජන නියෝජිතයන්ගේ මෙන්ම පොදු දේපොළ විනාශ කළ දිනය ලෙස ජූලි 9 දා ඉතිහාසයට එක්ව ඇති බව සිහිපත් කළ මන්ත්‍රීවරයා මේ අරගලයට මුවා වී කැරලිකරුවන්ට තිබූ න්‍යායපත්‍රය කුමක්ද කියා අද වන විට අධිකරණ ක්‍රියාවලිය හමුවේ අනාවරණය වෙමින් තිබෙන බවද සඳහන් කළේය.
පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට – සැවොම එකමඟකට‘ මැයෙන් ඊයේ (9) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
කිසිවකු රට භාර ගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක රට භාර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රටේ ආර්ථිකය යළි ගොඩනඟමින් සිටින බව සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවසීය:
“විවිධ ගෝලීය හේතු මත මෙන්ම එවකට රජය ගත් ඇතැම් තීන්දු තීරණ නිසා රජයට විරුද්ධව රටේ විශාල ජන මතයක් ගොඩනැඟුණා. අරගලයට මිනිසුන් පැමිණීම වෙනුවෙන් සාධාරණ හේතු තිබුණා. පැය 13ක විදුලි කප්පාදුවක් සිදු වුණා. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් නිසා දෛනිකව ජනතාව බොහෝ පීඩාවට පත් වුණා. ජනතාව මුහුණ දුන් සමාජ ආර්ථික පීඩනය අපිත් දැක්කා. මේ තත්ත්වය මත සාමකාමී අරගලයට සම්බන්ධ වූ ජනතාවට ගෙවල් ගිනි තැබීමට, මිනිස්සු මරා දැමිමට අවශ්‍ය වුණේ නැහැ. ඒත් අරගලයට මුවා වී කැරලිකරුවන්ට තිබූ න්‍යාය පත්‍රය කුමක්ද කියා අද වන විට අධිකරණ ක්‍රියාවලිය හමුවේ අනාවරණය වෙමින් තිබෙනවා. අරගලයට සම්බන්ධ වු ඇතැමුන්ගේ ගිණුම්වලට විදෙස් රටවලින් කෝටි ගණන් මුදල් ලැබී තිබෙනවා. මේ වන විටත් අධිකරණයේ ඇති නඩුවකට අදාළ විත්තිකාර පාර්ශ්වයක ගිණුමට මුදල් එවා තිබෙන්නේ ගෝතමාලාව කියන රටින්. ගෝතමලාව ප්‍රධාන වශයෙන් ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රටක්. මෙතනදි අප අමතක කළයුතු නැහැ එවකට හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරු බව. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබීමට නායකත්වය දුන් බවට සැක පිට තරුණයෙකු අත්අඩංගුවේ සිටිනවා. ඔහුගේ ගිණුමටත් විදේශ රටවලින් මුදල් ලැබුණු බවට කරුණු හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම අරගලයට නායකත්වය දුන්බොහෝ පිරිසකගේ ගිණුම් මේ වන විට පරීක්ෂාවට ලක්වෙමින් තිබෙනවා. තව දින කිහිපයකින් ඒ අයට මුදල් ලැබී ඇති ආකාරයත් අප රටට හෙළි කරනවා. විනාශකාරී පිරිස් වසර ගණනාවක් මේ රට පාලනය කරපු රාජ්‍ය නායකයන් සිටි මන්දිරය කඩා බිඳ දමා වටිනා දේපළ විනාශ කළ දවස අදයි. වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස කොළඹ රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කරලා තිබියදි එම නිවස සහ පුස්තකාලය ගිනි තැබු දවස අදයි. දැඩි අභියෝගකාරි අවස්ථාවක වත්මන් ජනාධිපතිවරයා රට භාර ගත්තා. එතුමා රට භාරගෙන අදට වසරක් ගත වෙනවා. ලෝකයේ අරාජික වූ කිසිදු රටක් වසරක් වගේ කෙටි කාලයකදී මෙතරම් පරිවර්තනයකට ලක්ව නැහැ. ජනාධිපතිවරයාගේ නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් මේවන විට රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඒ නිසා එතුමා ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන්න කියා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.“
අනුර ප්‍රේමලාල්