Home » රත්නපුර නව අධිකරණ සංකීර්ණය ජනපති අතින් හෙට ජනතා අයිතියට

රත්නපුර නව අධිකරණ සංකීර්ණය ජනපති අතින් හෙට ජනතා අයිතියට

by admin
July 10, 2023 1:00 am 0 comment

රුපියල් මිලියන 1700ක වියදමින් ස්ථාපිත රත්නපුර නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) උත්සවාකාරයෙන් සිදු කෙරේ.
දැනට පවතින අධිකරණය ගොඩනැඟිලි යල්පැනගිය ස්වභාවයක් ගැනීම, අධිකරණය පිහිටි භූමිය නායයාමේ අවදානමක් පැවතීම, වර්තමාන අධිකරණ ක්‍රියාවලීන් සඳහා ඒ ගොඩනැඟිලිවල ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණවත් නොවීම යන හේතු සලකා බලා නවීන පහසුකම්වලින් යුතු ගොඩනැඟිල්ලකින් සමන්විත අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීමේ අවශ්‍යතාව කලක පටන් පැනනැඟී තිබිණි. ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවවරයාව සිටියදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් රත්නපුර නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම 2018 සැප්තැම්බර් 10 වන දින ආරම්භ කරන ලදි.
ව්‍යාපෘතිය සඳහා උපදේශන සේවා සැපයීම සහ ඉදිකිරීම් භාර කොන්ත්‍රාත්කරු ලෙස ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කටයුතු කළේය.
ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1700ක් පමණ මුදලක් වැය කර ඇති අතර පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ මේ නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නොවන වියදම් සීමා කරමින් කාලීන අංගයන් පමණක් ඇතුලලත් වන සේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත.
මහල් 4කින් සමන්විත මේ ගොඩනැඟිල්ල මහාධිකරණ දෙකක්, සිවිල් අභියාචනා මහාධිකරණයක්, දිසා අධිකරණ දෙකක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, කම්කරු විනිශ්චයාධිකාරයක්, නීති ආධාර මධ්‍යස්ථානයක් හා ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණ සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත වේ. මේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම මඟින් තැන තැන විසිරී පැවති අධිකරණයන් වෙනුවට රත්නපුර දිස්ත්‍රික් ජනතාවට එකම ගොඩනැඟිල්ලක් තුළ සිය සේවා අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගැනීමේ හැකියාව ලැබෙන අතර, අධිකරණයන්හි පවතින තදබදය මඟහරවා ගැනීමටද හැකියාව ලැබේ.
නීතියේ ආධිපත්‍යය රට තුළ ස්ථාපිත කිරීම සඳහාත්, නීතිමය කටයුතු සම්බන්ධයෙන් මහජනයාගේ පවතින අයහපත් ආකල්ප දුරු කිරීම සඳහාත්, නවීන තාක්ෂණය සහ පහසුකම්වලින් සමන්විත අධිකරණ පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීමේ නව රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවට සමගාමිව යමින් මෙය ඉදි කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT