කාර්මික දෝෂයක් හේතුවෙන් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයට පාවි ආ ටග් යාත්‍රාව සහ බත්තල යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහාය දෙයි. ටග් යාත්‍රාව තුළින් හදිසි තෙල් විසිරීමක් සිදු වුව හොත් එම තත්ත්වය පාලනය කිරීම සඳහා පා වෙන බෝයාවක් ස්ථානගත කිරීමටත් කටයුතු කරමින් පවතින අතර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවද නාවික හමුදාව සමඟ මෙහිදී එක්ව කටයුතු කරයි.
‘Atulya’ නැමති බත්තල රැගත් ‘Avadh’ නමැති ටග් යාත්‍රාව මාලදිවයිනේ සිට ඉන්දියාව වෙත යාත්‍රා කරමින් තිබියදී, කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්ව ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මන්නාරම දකුණ නඩුකුඩා වෙරළ ප්‍රදේශය වෙත පසුගියදා (7) පස්වරුව වන විට පා වී පැමිණ තිබේ.
ඉන්දීය හා ඉන්දුනීසියානු ජාතික කාර්ය මණ්ඩලයේ 9 දෙනකුගෙන් සමන්විත එම ටග් යාත්‍රාව නැවත නිසි ක්‍රමවේදයකින් යුතුව යථාතත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මේ වන විට නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබයි.
‘Avadh’ නමැති ටග් යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම ටග් යාත්‍රාව සහ බත්තල ශ්‍රී ලංකාවේ වයඹ මුහුදු ප්‍රදේශයට පා වී එන බවට, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC Chennai) මඟින්, කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත පසුගිය 6 දින දැනුම් දීමක් සිදු කර තිබේ.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් පරිදි, කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් ආපදාවට පත් ‘Avadh’ ටග් යාත්‍රාවේ මෙහෙයුම් සමාගම වෙත සිද්ධිය දැනුම් දී, අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව දෙසට පා වී එන ආපදාවට පත් ටග් යාත්‍රාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එහි දේශීය නියෝජිතයා මඟින් වෙනත් ටග් යාත්‍රාවක් යොමු කරන ලෙස දැනුම් දෙනු ලැබීය.
උපාලි කරුණාරත්න, රක්ෂණ ශ්‍රියන්ත