ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගෙන් සැර ප්‍රකාශයක්
- ක්‍රීඩා සංගම්වල වැරදි පෙන්වා දෙන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට පෙනී සිටින බවත් කියයි
ක්‍රීඩා සංගම්වල වැරදි පෙන්වා දෙන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට අනිවාර්යයෙන්ම
ඉදිරිපත් වන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. වැරදි පෙන්වා දුන්
විට කවුරුන් හෝ එම මාධ්‍යවේදියාට විරුද්ධව අධිකරණයට යන්නේ නම් එය සම්පූර්ණයෙන්ම
වැරදි බවත්, එසේ යෑමට අවශ්‍ය නම් අදාළ නිලධාරියාගේ පෞද්ගලික මුදලින් ඒ සඳහා කටයුතු
කළ යුතු බවත් ක්‍රීඩා ඇමැතිවරයා කියා සිටියේය.
ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටිමින් පුවත් පළ
කරන ඇතැම් මාධ්‍යවේදීන්ට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණයට යෑම සම්බන්ධව
පෙන්වා දෙමින් ‘දිනමිණ’ ඊයේ උදෑසන ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කළ
විමසුමකට පිළිතුරු දෙමිනි.
“පැහැදිලිවම, මාධ්‍යවේදීන් හැටියට අපි ඔබතුමාලව ආරක්ෂා කරන්න අනිවාර්යයෙන්ම ඉස්සරහට
එනවා. ඇවිත් කටයුතු කරනවා. මේ අය එයාලගේ තනතුරු ආරක්ෂා කර ගන්නත් සංගමයේ මුදල්වලින්
තමයි නඩු කියන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒක සම්පූර්ණයෙන් වැරදියි. වැරද්ද පෙන්නලා
දුන්නම කවුරු හෝ කෙනෙක් ඔහුට විරුද්ධව නඩු යනවා නම් ඒක වැරදියි. යන්න ඕන නම් යන්න
ඕන එයාගේ පෞද්ගලික මුදලින්. හොඳ දේ කරන්න කියන පණිඩිඩය දෙන්නේ දෙන්නෙක් විතරයි. මේ
රටේ තවම හොරු බලවත්. හොරකම රකින්න සීයක් ඉදිරිපත් වෙනවා. එතකොට බොරුව වුණත්
සියපාරක් කිවුවම ගොබෙල්ස් න්‍යායට අනුව ඇත්ත වෙනවනේ. එතකොට හොරා ගිහින් ඉහළට මේක
සියපාරක් කිවුවම තව කවුරුහරි ලව්වා පණිවිඩයක් දුන්නම මොකක්ද මේ වෙන්නේ කියලා ඉහළ
මට්ටමෙන් පවා කල්පනා කරනවානේ” අමාත්‍යවරයා එසේ කීවේය.
“හැම ක්‍රීඩාවකදීම වගේ මෙයාලා අධිකරණයට යන්නේ මෙයාලගේ රැකවරණය වෙනුවෙන්. අධිකරණ
ක්‍රියාවලියට කාලයක් යනවනේ. ඒකට අපිට කරන්න දෙයක් නැ. ඒක ගරු අධිකරණයේ තියෙන
කටයුත්තක්. නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලොකු අගතියක් සිද්ධ වෙනවා. එවැනි කරුණුවලදී
අපිට ඉදිරියේදී වැඩි සැලකිල්ලකින් කටයුතු කරන්න වෙනවා. ඒ නිසා යම් යම් නීති ගෙන
එන්න මම ක්‍රියා කළා. මේව කරන්න යනකොට කේලම්කාරයෝ වැඩියි. ඒකයි ඇත්ත කතාව. බාධා එමට
තියෙනවා. ක්‍රීඩාව සුද්ධ කරන්න පුළුවන්. සමහර කාරණා තියෙනවා මට ටික දවසක් දෙන්න. මම
ඉදිරියේදී කියන්නම්. හැබැයි වෙලා තියෙන්නේ ගොඩාක් අය මේ සංගම්වල සල්ලිවලට යට වෙනවා.
ඒක තමයි ඇත්ත කතාව. සල්ලිවලට යට වුණාම ක්‍රීඩාව ගැන රට ගැන කිසිම කැක්කුමක් නෑ. මේ
මාධ්‍ය මෙතැන ඉන්නවා ක්‍රීඩාවට ආදරෙයි. ගන්න පඩියට වැඩ කරගෙන ඉන්නවා. ඒක මම
අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ අතරතුර විකිණෙන කට්ටියත් ඉන්නවා. සමාජ මාධ්‍යයෙත්
ඉන්නවා. මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම ඩිජිටල් මාධ්‍යයෙත් ඉන්නවා. ප්‍රධාන මාධ්‍යවලත්
ඉන්නවා. ඒ තත්ත්වය ගැන කනගාටු වෙනවා. ඒ නිසා ලෝක කුසලානයට යද්දි හැම මාධ්‍යයකටම
විශේෂ සැලකිලි බෑ. අද උපදෙස් දෙනවා මම ලේකම්තුමාට සෑම මාධ්‍යයකට දෙන්න ඕන අවස්ථාව.
මාධ්‍ය ආවරණය කරන්න එක හැන්දෙන් බෙදන්න ඕනා. වෙනස් කරලා සලකන්න බෑ. ඒ වගේම තමයි
විශේෂයෙන්ම අපි ගත්තොත් සංගම්වලදිත් මම ඉල්ලනවා මේකත් ප්‍රසිද්ධියේම කියන්න ඕනා
දැන් ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමාටත්, ලේකම්තුමා ඇතුළු විධායක සභාවටම මම උපදෙස්
දුන්නේ විදෙස් සංචාරවලට නිලධාරින් යන එක සීමා කරන්න කියලා. මාව අපහසුතාවට පත් කරන්න
එපා නැවත අනුමැතීන්වලට නිලධාරින්ගේ නම් එවලා. නිලධාරින්ට තරග බලන්න යන්න ක්‍රිකට්
ආයතනයෙන් මුදල් දෙන්න මම ඉඩ තියන්නේ නෑ. යන්න අවසර ඉල්ලලා මාව අපහසු කරන්න එපා
කියලා. මොකද ඒ වියදම් කරන මුදල් අනිවාර්යයෙන්ම පාසල් 15-20ක ක්‍රිකට් දියුණු කරන්න
වියදම් කරන්න පුළුවන්. ඒ නිසා ඒක කරන්න බෑ මේ පාර. මාධ්‍යයට ඉඩ දෙනවා මම අර කිවුව
විදිහට. ගුවන් ටිකට් පත් හා හෝටල් ගාස්තු ඉල්ලන්න.” ක්‍රීඩා අමාත්‍යවරයා කියා
සිටියේය.
කබඩි සංගමයේ සභාපතිවරයා, ලේකම්වරයා සහ තවත් නිලධාරියකු විදෙස්ගත වී ඇතැයි මාධ්‍ය
හමුවේදී හෙළිවූ කරුණක් සම්බන්ධව අදහස් පළ කළ ක්‍රීඩා අමාත්‍යවරයා විදෙස්ගතව සිටින
බව දැන සිටිය ද, මෙවැනි කරුණක් පිළිබඳ දැනුම්වත්ව නොසිටි බව කීවේය.
“කබඩි සංගමයේ නිලධාරින් සම්බන්ධව චෝදනා තියෙනවා. ඒ නිසා මම කබඩි සංගමයේ සභාපතිතුමාට
කතා කළා. එයා ලංකාවේ නෑ. විදේශගත වෙලා ඉන්නේ. අවංකවම කිවුවොත් මට ලේකම්තුමා හෝ
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා හෝ ක්‍රීඩා අධ්‍යක්ෂතුමා හෝ
දැනුම් දීලා නෑ කබඩි සභාපති විදෙස්ගත වී ඇති බව. මම එතුමාට දුරකතන ඇමතුමක් දුන්නම
එයා කිවුවේ ‘මම ඉන්නේ කොරියාවේ. මම ආයේ එන්නෙත් නෑ’ කියලයි. ඉදිරියේදී කබඩි සංගමයේ
නිලවරණය තියෙනවා. කබඩි දියුණු කරන්න පුළුවන් අය ඉදිරිපත් වෙන්න කියලා මම ඉල්ලනවා.
එකම පිරිසක් සදාකල් ඉන්න අවශ්‍ය නෑ. ක්‍රීඩාවට ආදරය තියෙන, ක්‍රීඩක ක්‍රීඩිකාවන්
ගැන කැක්කුමක් තියෙන, ක්‍රීඩාව කරපු අය ඉදිරියට ඇවිල්ලා මේ සංගම්වල වගකීම භාර ගැනීම
ඉතා වැදගත්” අමාත්‍යවරයා කියා සිටියේය.
ෆවුස් මොහොමඩ්