Home » මෙරටට ආවේණික කෙතල (කෙටල) විශේෂයක් හියාරෙන් සොයා ගනී

මෙරටට ආවේණික කෙතල (කෙටල) විශේෂයක් හියාරෙන් සොයා ගනී

by gayan
July 6, 2023 1:01 am 0 comment

ශ්‍රී ලංකාවට ආවේණික කෙතල (කෙටල) විශේෂයක් ගාල්ල, හියාරේ වන රක්ෂිතයෙන් සොයා ගැනීමට හැකි වූ බව පර්යේෂකයෝ පිරිසක් කියති.
මෙම පර්යේෂණය සිදු කළ ඉන්ද්‍රඛීල මාදොල, මහාචාර්ය දීප්ති යකන්දාවල සහ මහාචාර්ය කපිල යකන්දාවල ඒ පිළිබඳ ජාත්‍යන්තර Phytotaxa නමැති උද්භිද විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.
මේ සොයා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් හමුවන කෙතල විශේෂ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ යන අතර ඉන් විශේෂ 13ක් ම ශ්‍රී ලංකාවට ආවේණික වෙයි.
පර්යේෂකයන් පවසන්නේ මෙම නව කෙතල විශේෂය Lagenandra limbusleviterapertae ලෙස නම් කරන ලද බවයි. මේ දක්වාම ගාල්ල හියාරේ ජලාශය ආශ්‍රිත වනාන්තර ප්‍රදේශයෙන් හැර ලොව වෙනත් කිසිම ස්ථානයකින් මෙම නව විශේෂය වාර්තා වී නැති බැවින් එම විශේෂය සිංහල භාෂාවෙන් “හියාරේ කෙතල” යනුවෙන් නම් කිරීමට ද පර්යේෂකයෝ කටයුතු කළහ.
මීට පෙර මෙම ශාකය හියාරෙන් හමු වී තිබුණ ද එකල එය හඳුනාගෙන තිබුණේ කෙතල වර්ගයක් නොව කෙකටිය වර්ගයක් ලෙසිනි. එම අවස්ථාවේ Aponogeton crispus නමැති කෙකටිය විශේෂය ලෙස හඳුනාගෙන තිබූ මෙම ශාකය 1987 වර්ෂයේදී කෙකටිය වි‍ශේෂයක් නොව Lagenadra koenigii නමැති කෙතල විශේෂය ලෙස හඳුන්වා තිබිණි.
ඉන්ද්‍රඛීල මාදොල ඇතුළු පර්යේෂකයන් 2018 වර්ෂයේ දී මෙම ශාකය හියාරේ රක්ෂිතයේ තිබෙනු දැක එහි නිදර්ශකයක් සියුම්ව පරීක්ෂා කිරීමේදී එතෙක් සිතා සිටි පරිදි එම විශේෂය Lagenadra koenigii විය නොහැකි බව තහවුරු කර ගැනිණි. ඒ අනුව ඉන්ද්‍රඛීල මාදොල, මහාචාර්ය දීප්ති යකන්දාවල සහ මහාචාර්ය කපිල යකන්දාවල දෙදෙනාගේ උපදෙස් සහ මඟ පෙන්වීමත් සහිතව වෙනත් කෙතල විශේෂ සමඟ සංසන්දනය කරමින් මේ සම්බන්ධව පර්යේෂණ සිදුකර තිබේ.
එහි දී ඔවුන් තහවරු කරගත්තේ හියාරේ රක්ෂිතයේ ඇති මෙම ශාක විශේෂය මෙතෙක් ලෝකයේ කිසිම ස්ථානයකින් හමුවූ බවට විද්‍යාත්මකව සනාථ කළ දත්ත නොමැති බවයි. ඒ අනුව ඔවුහු එම ශාකය නව ශාක විශේෂයක් බව තහවුරු කළහ.
මෙම කෙතල විශේෂයේ හටගන්නා පුෂ්පයේ බඳ කොටස අනෙක් කෙතල විශේෂවලට වඩා වෙනස් ආකාරයෙන් තරමක් කුඩාවට විවෘත වන බව නිරීක්ෂණය කර තිබිණි. මෙම නව කෙතල විශේෂයට උද්භිද විද්‍යාත්මකව Lagenandra limbusleviterapertae නම තැබීමට හේතු වී ඇත්තේ ද එම ලක්ෂණයයි.

කරාපිටිය සමූහ – එස්. ලොකුකරවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT