Home » කඩාවැටුණු ශ්‍රී ලංකාව අද වන විට වේගයෙන් නැඟිටිමින් සිටින රටක්
ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

කඩාවැටුණු ශ්‍රී ලංකාව අද වන විට වේගයෙන් නැඟිටිමින් සිටින රටක්

by gayan
July 6, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය දුන් 69 ලක්ෂයක ජනතාව පමණක් නොව මේ
රටේ සෑම පුරවැසියකුගේම අභිලාෂ ඉටුකරන කාර්යයභාරය ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණ විසින් නිරන්තරයෙන් ඉටුකරන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර
මහතා ප්‍රකාශ කරයි.

පසුගිය කාලයේ යම්කිසි වැරදීමක් සිදු වී තිබෙන්නේ නම් එම වැරැදි නිවැරදි කරමින්
මාතෘභූමිය නිවැරැදි දිශානතියකට යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව පෙන්වා දෙන
ඒ මහතා ශ්‍රී ලංකාව යම්කිසි කඩාවැටීමකට ලක්වුව ද අද වනවිට වේගයෙන් නැඟිටින
රටක් බවට පත්ව තිබෙන බව ද උද්ධමනය පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළුව
ක්ෂේත්‍ර රැසක වර්ධනයක් පෙන්වා තිබෙන බව ද සඳහන් කරයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා
පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (05) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට
සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් ශාන්ත බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.

Òරටක් හැටියට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් මේ සිදුවීම
විවිධ දේශපාලන පක්ෂවලින් පෙන්නුම් කරන්න සූදානම් වෙනවා. පොදුජන පෙරමුණේ
ආණ්ඩුව නිසා මේ තත්ත්වය ඇති වුණා. එහෙමත් නැතිනම් හිටපු ජනාධිපති නිසාම මේ
තත්ත්වය ඇති වුණා කියලා. ඒ කාරණයට ලඝු කර දේශපාලන වශයෙන් කතා කරන අවස්ථා අපි
දැකලා තිබෙනවා. නමුත් අපි බොහොම පැහැදිලිව දන්නවා අපේ රටේ මේ අවස්ථාවේ අවසාන
පුපුරායෑමේ අවස්ථාව වුණාට මීට කලින් 1931 සිට මහජන ඡන්දයෙන් පත්වෙන මහජන
නියෝජිතයන් බිහි වුණු රටක්. එදා ඉඳලා දේශපාලන නායකත්වය මේ රටට නායකත්වය
දීලා තිබෙනවා. 1977න් පස්සෙ බිහිවුණු ආණ්ඩු විශාල වශයෙන් ණය ලබාගැනීම් කළා.

ඒ ණය ගැනීම් හැම ආණ්ඩුවක් විසින්ම විවිධ ව්‍යාපෘති සඳහා සහ ආදායම් වියදම් හිඟය
පියවා ගැනීම සඳහා ලබා ගත්ත ණය හේතුවෙන් අපට අවසාන වශයෙන් කොවිඩ් වසංගතයට
මුහුණ දෙන්න වීමත් එක්ක ඒ පුපුරායෑම සිදු වුණා. කොවිඩ් වසංගතයත් සමඟ ඇතැම්
රටවල ආර්ථික අර්බුදය දැන් තමයි පටන් ගන්නේ. ඒ රටවල්වලට ශක්තිය තිබුණා ඒ වෙලාවේ
අල්ලගෙන ඉන්න. නමුත් අපි වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටකට ඒක අල්ලගෙන ඉන්න බැරි
වුණා. ඒ මොහොතෙම අපට ඒකට මුහුණ දෙන්න වුණා. මේ වෙනකොට ආසියාවේ රටවල් තුනක්
බංකොලොත්භාවයට පත් වුණා. එකක් තමයි බුරුමය. 1962 දී. ඒ වගේම ඉන්දුනීසියාව
1968 දී බංකොලොත්භාවයට පත් වුණා. ඊට පසුව තමයි ආසියානු රටක් විදියට ශ්‍රී
ලංකාව 2022 දී ඒ තත්ත්වයට පත් වුණේ. නමුත් ඉන් පස්සෙ විශේෂයෙන්ම මේ රටේ බහුතර
ජනතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීලා බලාපොරොත්තුවක් තිබුණා. ඒ
බලාපොරොත්තුව ගොඩක් දෙනෙක් හිතුවා සුනුවිසුනු වෙලා යයි කියා.

නමුත් ඒ බලාපොරොත්තුව ඉටු කිරීමේ වගකීම දේශපාලන පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා
පොදුජන පෙරමුණටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මැතිවරණයට
ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවට ආපු සියලු දෙනාටත් ඒ වගකීම තිබෙනවා. ඒ වගකීම
තමයි අපි දැන් ඉටු කරමින් සිටින්නේ. ඒ නිසා මේ වෙලාවේ දී අපි රට ගැන හිතලා
ජනතාවගේ පැත්තෙ ඉඳලා ගන්න බැරි, හිතන්න බැරි අමාරු තීන්දු තීරණ අරගෙන මේ
ජනතාවගේ බලාපොරොත්තු අද ඉෂ්ඨ කරමින් ඉන්නවා. අපට ඡන්දය දුන්න හැටනව ලක්ෂය
පමණක් නොවෙයි මේ රටේ බහුතර ජනතාවගේ අභිලාෂ ඉටු කරන කාර්යයභාරය ශ්‍රී ලංකා
පොදුජන පෙරමුණ මේ වනවිට කරමින් ඉන්නවා.

අපට දේශීය ණය ප්‍රශස්තකරණය කරන්න අවශ්‍ය වුණා. ඒ කාර්යයභාරයේ දී මේ රටේ
විපක්ෂයේ දේශපාලන පක්ෂ බරපතළ බිල්ලෙක් මැවුවා. මේ තුළින් බැංකු පද්ධතිය
කඩාගෙන වැටෙනවා. තැන්පතුකරුවන්ට විශාල ප්‍රශ්නයක් වෙනවා. සේවක අර්ථසාධක
අරමුදලට දැඩි ලෙස බලපෑමක් ඇති වෙනවා. ඒ අයගේ මුදල් නැති වෙනවා. ඒ ආදී වශයෙන්
විශාල වශයෙන් භීතියක් ඇති කර ඒ වගේම බැංකු පද්ධතියට හානියක් වෙන ආකාරයට
ඔවුන් ප්‍රකාශ නිකුත් කළා. අදටත් නිකුත් කරමින් ඉන්නවා. නමුත් බොහොම පැහැදිලිව
අපි කියන්න කැමති සාර්ථක විදියට දේශීය ණය ප්‍රශස්තකරණය කරන්න අවශ්‍ය
වැඩපිළිවෙළ මුදල් අමාත්‍යාංශයත්, මහ බැංකුවත් ඒ අදාළ සියලු නිලධාරීන් කැප
වීමෙන් අද මේ වනවිට යථාර්ථයක් බවට පත්වෙලා තිබෙනවා. ගොඩක් අය හිතුවා නැවත රජයේ
නිවාඩුව අවසන් වෙලා වැඩ කටයුතු ආරම්භ වනවිට විශේෂයෙන්ම කොටස් වෙළෙඳපොළ වගේ
දේවල් බරපතළ විදියට කඩා වැටෙයි කියලා.

නමුත් ඊයේ වෙනකොට අපි දැක්කා මේ කාලයේදී වැඩිම කොටස් වෙළෙඳපොළේ වර්ධනය ඊයේ
අපිට දැක ගන්න හැකියාව ලැබුණා. ඒ නිසා විපක්ෂය විසින් එල්ල කරන චෝදනා පුස්සක් බවට
පත්වෙලා තිබෙනවා. අපි රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට විශේෂයෙන්ම මේ ණය
ප්‍රශස්තකරණය කිරීම යන සියලු කාර්යයන් ඉතාම සාර්ථකව කරමින් අපි ජනතාවගේ
බලාපොරොත්තු ඉටුකර දෙන්න පුළුවන් වටපිටාව මේ වෙනකොට නිර්මාණය කර තියනවා.

ඒකාධිපති ආකාරයෙන් පනතක් ගෙනවිත් සම්මත කරන්න අපි සූදානම් නැහැ. ඒ වගේම
මාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් ද රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ
වෙනුවෙන් රජය මීට වඩා මැදිහත්වීමක් කළයුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා
කර තිබෙනවා. රක්ෂණාවරණයක් ලබාදීමේ දී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු
කර තිබෙනවා. ඒ සඳහා ලැබෙන පළමු අවස්ථාවේ දීම අපි ක්‍රියාත්මක වෙනවාÓ යැයි
පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT