Home » ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක්

by mahesh
July 5, 2023 8:11 am 0 comment

ලෝක බැංකුවෙන් ලබා දීමට එකඟ වූ ඩොලර් මිලියන 700ක මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් මෙරටට ලැබී තිබේ.

මෙරට අය-වැය සඳහා සහාය වීම වෙනුවෙන් මෙම මුදල දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ අනුමැතිය දැනටමත් හිමිව තිබෙන අතර එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අය-වැය සඳහා සහාය දීමටත් ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහාත් වෙන් කර තිබෙන බව ද ඒ මහතා එහි සඳහන් කර ඇත.

අය-වැය සඳහා වෙන් කර තිබුණු මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් ඒ අනුව ශ්‍රී ලංකාවට මෙලෙස හිමිව තිබෙන බව ද ඒ මහතා එහි දක්වා ඇත.

අදියර දෙකක් යටතේ මේ මුදල ශ්‍රී ලංකාවට දීම සඳහා ලෝක බැංකුව තීරණය කර තිබෙන අතර එහි පළමු වැඩසටහන ආර්ථික ස්ථායී බව නැවත ඇති කිරීම සහ අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණවලට සහාය ලබා දෙමින් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් සමාන වාරික දෙකක් එකඟ වූ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මත රාජ්‍ය අය-වැයට මුදා හරියි.

දෙවැන්න වන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් දිළිඳු සහ අවදානමට ලක් විය හැකි ජන කොටස් වෙනුවෙන් වෙන් කරන අතර සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්හි ඉලක්කගතභාවය, ඵලදායීතාව සහ අවදානම්වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණ බව ද ලෝක බැංකුව ප්‍රකාශ කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT