ලක්ෂ ගානක රන්-මුදල් අතුරුදන්
සැකපිට අයෙක් අත්අඩංගුවට
අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ මවට අයත් ඌරාපොළ බෝපැත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට හොරුන් පැන රුපියල් හත් ලක්ෂ පනස් දහසක රන් භාණ්ඩ හා මුදල් රුපියල් ලක්ෂ හයකට වැඩි මුදලක් සොරා ගෙන ගොස් ඇති බවත් ඒ සම්බන්ධව සැකපිට එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බවත් අත්තනගල්ල පොලීසිය ඊයේ 3 පැවසීය.
විනිසුරුවරයා එම නිවසේ නොමැති බවත් සේවකයන් පමණක් එහි සිට ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
පැමිණිල්ල පෙරේදා 02 ලැබීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිරිසක් එහි ගොස් වහා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර නිවසේ දොර ජනෙල් හෝ අල්මාරි කඩා නොමැති බවත් අල්මාරියක තිබූ කුඩා සේප්පුවක් තුළ තිබී ඇති රන් භාණ්ඩ හා මුදල් අස්ථාන ගත වී ඇති බවට හෙළි වී ඇත.
එම සොරකම සිදු කොට ඇති ආකාරය ඊයේ 03 දහවල් වන විටත් අනාවරණය වී නොතිබිණ.
මේ සම්බන්ධව එක් පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කර ගෙන යන බවද පොලීසිය කීය. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතා ගේ මෙහෙයවීම යටතේ එහි පොලිස් නිලධාරීන් පිරිසක් හා වෙනම විශේෂ පොලිස් කණ්ඩායමක්ද මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යති.