Monday, April 21, 2025
Home » ඌරුබොක්කේ මුදල් හා රන්බඩු කොල්ලයට කාන්තාවක ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

ඌරුබොක්කේ මුදල් හා රන්බඩු කොල්ලයට කාන්තාවක ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

by thanushika
July 4, 2023 8:43 am 0 comment

ඌරුබොක්ක විශේෂ - ඒ.පී. දයාචන්ද්‍ර

ව්‍යාපාරිකයකුට අයත් ඌරුබොක්ක පොලිස් වසමේ හීගොඩ, හුලංකන්ද පාර ප්‍රදේශයේ නි‍ෙවසකට පසුගිය ජුනි 11 දින පුද්ගලයන් හතර දෙනෙකු මුව ආවරණ පැලඳ ඇතුළු වී ගිනි අවියක් පෙන්වා නිවැසියන් බිය ගන්වා එක්කෝටි එක්ලක්ෂ අනූතුන්දහසක (10193000.00) මුදල්, ස්වර්ණාභරණ, ජංගම දුරකතන පැහැරගෙන මෝටර් රථයකින් පලා ගිය අතර එම කොල්ලකරුවන්ගෙන් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු කොල්ලකන ලද මුදල්වලින් රුපියල් විසිහතර ලක්ෂයකට (2400000.00) අධික මුදලක් සහ පැහැරගෙන යන ලද රන් භාණ්ඩවලින් කොටසක් සමඟ ඊයේ (03) දින අත්අඩංගුවට ගත් බවට ඌරුබොක්ක පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕමල්පේ, දාපනේ ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරුගේ 54 හැවිරිද බිරිය සහ මිද්දෙණිය, ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු දෙදෙනෙකු බවට පොලිසිය පවසයි.

මෙම මංකොල්ලය සිදුව තිබුණේ පසුගිය ජුනි මස 11 දින උදෑසන 11.00-11.30 අතර කාලයේ මුව ආවරණ පැලඳ පැමිණි පුද්ගලයන් හතර දෙනෙකු නි‍ෙවසට ඇතුළු වී ගිනි අවියක් හා පිහි පෙන්වා නි‍ෙවසේ සිටි පුද්ගලයන් බිය ගන්වා ඔවුන් කාමර දෙකකට දමා සිර කර තබා ගනිමින් නි‍ෙවසේ තිබූ ව්‍යාපාරිකයාට අයත් රුපියල් අනූඅට ලක්ෂ පනස්දහසක මුදල් සහ රන්මාල දෙකක්, අත් පලඳනාවක්, පෙන්ඩනයක් ඇතුළු රුපියල් තුන්ලක්ෂ විසිපන්දහසක් වටිනා රන් භාණ්ඩ, රුපියල් දහහත්දහසක් වටිනා ජංගම දුරකතන තුනක් කොල්ලකා පලා ගොස් තිබුණි. ව්‍යාපාරිකයා සහ දරුවන් දෙදෙනා ඌරුබොක්ක ප්‍රදේශයේ සිය වෙ‍ෙළඳ ව්‍යාපාරික ස්ථානයේ සිටින අතරතුර කොල්ලකරුවන් නි‍ෙවසට ඇතුළු වී ඇති අතර, එම අවස්ථාවේ නි‍ෙවසේ සිට ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිය, රෝගී පුතා, ලේලිය, දරුවන් පමණක් වන අතර, එම අවස්ථාවේ රෝගීව සිටින ඥාතියා බැලීමට අතුරුගිරිය ප්‍රදේශයේ සිට පැමිණි ඥාති සහෝදරයෙකු හා ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනාද සිට ඇති අතර, අතුරුගිරිය ප්‍රදේශයේ සිට පැමිණි යුවළගේ හා දරුවන් දෙදෙනාගේ මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකතනද කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබුණි.

මෙම මංකොල්ලය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මුලින්ම කොල්ලකරුවන් පැමිණි මෝටර් රථය වලස්මුල්ල ප්‍රදේශයේ නි‍ෙවසක තිබී සොයා ගෙන තිබුණි. විශේෂ පොලිස් කණ්ඩායම විසින් ප්‍රදේශයේ සීසීටීවී දර්ශන හා දුරකතන විශ්ලේෂණ උපයෝගී කර ගනිමින් දිගින් දිගටම කරන ලද පරීක්ෂණවලින් පසු කොල්ලය සැලසුම් කළ බව කියන ඕමල්ප ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු හඳුනා ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ නි‍ෙවසේ සිට ඇත්තේ ඔහුගේ බිරිය පමණක් බවත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කොල්ලකන ලද මුදල්වලින් රුපියල් එකොළොස් ලක්ෂ හැටපන්දහසක මුදලක් සැකකරුගේ නි‍ෙවස ඉදිරිපිට ඇති තේ ඉඩමේ තේ පඳුරක් යට බෑගයක හා කවරයක දමා වළ දමා තිබියදී සොයා ගත් බවත් පොලිසිය පවසයි.

කොල්ලයට පැමිණි බව කියන අනිත් සැකකරු සන්තකයේ තිබී කොල්ලකන ලද මුදල්වලින් රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑ නවදහසක මුදලක් සහ පැහැර ගන්නා ලද රන් භාණ්ඩවලින් රන් මාල දෙකක් සහ පෙන්ඩනයක් සොයා ගත් බවට පොලිසිය පවසයි. මීට අමතරව මෝටර් රථය අනතුරකට පත්වීම වෙනුවෙන් හා කුලිය වෙනුවෙන් මෝටර් රථයේ හිමිකරුට කොල්ලකරුවන් විසින් ලබා දී තිබූ රුපියල් ලක්ෂයක මුදලක්ද පොලිසිය භාරයට ගෙන තිබූ අතර, ඒ අනුව කොල්ලකන ලද මුදල්වලින් රුපියල් විසිහතර ලක්ෂ හතළිස් හතර දහසක මුදලක් සොයා ගත් බවට පොලිසිය පැවැසීය. ජූලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී සොයා ගත් රන් භාණ්ඩ තමන්ගෙන් පැහැර ගත් රන් භාණ්ඩ බවට එහි අයිතිකරුවන් විසින් හඳුනා ගත් බවට පොලිසිය පැවැසීය.

ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.පී.ඩබ්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක විජිතානන්ද මහතාගේ මූලිකත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පතිරත්න, සැරයන් (68868) සඳරුවන්, සැරයන් ප්‍රදීප්, සැරයන් සමන්, කොස්තාපල් ධනුෂ්ක, පොලිස් කොස්තාපල් රියැදුරු ඉන්ද්‍රජිත් යන නිලධාරින් වැටලීම සඳහා සහභාගි වූහ.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවට ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.පී.ඩබ්. පල්ලියගුරුගේ මහතා පැවැසීය.

ඡායාරූප – ඌරුබොක්ක විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT