සංචාරක කර්මාන්තයේ මෑත කාලීන වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ මැයි මාසයේ දී රුපියල් කෝටි 4000ක (අමෙරිකානු ඩොලර් මිලියන 131) ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
පසුගිය 2022 වසරේ මැයි මාසයේ දී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයා තිබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 44ක් වන අතර, ඒ අනුව මේ වසරේ මැයි මාසයේ දී එය සියයට 202ක වර්ධනයක් ලබා ඇති බව ශ්‍රී ලංකා මහ බංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.
පසුගිය 2022 වසරේ මැයි මාසයේ දී විදෙස් සංචාරකයන් 30207 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන අතර, එහි සියයට 175.8ක වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ මැයි මාසයේ දී සංචාරකයන් 83309 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා මහ බැංකුව රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවලින් වැඩි වශයෙන් විදෙස් සංචාරකයන් පැමිණ තිබෙන බව ද සඳහන් කරයි.
ඒ අනුව මෙරට සංචාරක කර්මාන්තයේ යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් පසුගිය ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල සංචාරකයන් 100,000ට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, ඒ අනුව මේ වසරේ මුල් මාස 5ක කාලයේ දී විදෙස් සංචාරකයන් 524,486 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. පසුගිය මැයි මාසය හැර සෙසු සෑම මසකදීම ලක්ෂයකට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණ තිබීම විශේෂත්වයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.
පසුගිය 2022 වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 635ක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන අතර ඊට සාපේක්ෂව මේ වසරේ එම කාලයේ දී උපයා ගැනීමට සමත්ව තිබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 828ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.