අපේ කතාව! | දිනමිණ

අපේ කතාව!

ශ්‍රී ලංකාවේ ජීවමාන පැරැණි ම ජාතික පුවත්පත දිනමිණ ය. එය සිය ජීවන ගමන් ම‍ඟෙහි 108 වන උපන්දිනය ඊයේ සැමරී ය. පුවත්පතක් මේ සා දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑම අතිශය අභියෝගාත්මක කාරණයෙකි. ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවහොත් මුද්‍රිත ජන මාධ්‍යයට ඇති වෙළෙඳපොළ අවකාශය මෙන් ම පාඨක ආකර්ෂණය ද රඳවා ගැනීම අපහසු වන කාලයක් තිබිණි. ඩිජිටල් මාධ්‍ය උඩට එන අතර මුද්‍රිත මාධ්‍ය යටට යන තත්ත්වයක් ද තිබිණි. අද වුව එය වෙනස් වී ඇත්තේ සුළු වශයෙන් ය. එහෙත් පුවත්පතක් ලෙස දිනමිණට පැවරෙන ජාතික වගකීම වැදගත් ය. ඒ වගකීම ඉතිහාසය පුරාවට ම රැකගැනීමේ ගෞරවය දිනමිණට හිමි විය යුතු ය.

පුවත්පත් කතුවරුන්ගේ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක දී කතුවරයාගේ දෙවියා කවුරුන්දැ’යි දේශකයකු විසින් විමසන ලදී. කතුවරු විවිධ පිළිතුරු ලබා දුන්හ. ඇතැම් පිළිතුරක් හාස්‍යජනක ය. තව පිළිතුරක් උත්ප්‍රාසාත්මක ය. දේශකයාගේ නිර්දේශය වූයේ පාඨකයා කතුවරයාගේ ද පත්තරයේ ද දෙවියා විය යුතු බව ය. මෙයින් මතුවන්නේ ජනතාවාදී ආකල්පයකි. ජනතාව වෙනුවෙන් හඬ නැඟීම, ජනතාව වෙනුවෙන් පෙනී සිටීම හා ජනතාවට නිවැරැදි තොරතුරු හා පෙලැඹවීම් ලබාදීමත් හොඳ පත්තරයක ප්‍රතිපත්තිය විය යුතු ය. එදා සිට අද දක්වාම දිනමිණ සිය සන්නිවේදන ක්‍රියාවලිය සිදුකරන්නේ පාඨක සමාජය මුල්තන්හි තබාගෙන ය.

පුවත්පත ආරම්භ වන්නේ 1909 දෙසැම්බර් 17 දා ය. පත්තරය ආරම්භ වූයේ ජාතික හා සාංස්කෘතික අවශ්‍යතා මත ය. නිදහස උදෙසා ජාතිය පෙළගැස්වීම, ජනතාවගේ චින්තනයට සාධනීය ආකල්ප එකතු කිරීම හා ජන සමාජයේ දැනුම හා අවබෝධය පුළුල් කිරීමත් අපේ අරමුණු අතර තිබිණි. පත්තරයේ අලෙවි ප්‍රවර්ධනය සඳහා මිථ්‍යාව අලෙවි කිරීම, ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීම හා බාල ගණයේ ආස්වාදනයට ඉඩ දීම දිනමිණ අනුමත නොකළ දේවල් ලෙස සැලැකිය හැකි ය. එදත් දිනමිණ ඒවා ප්‍රතික්ෂේප කළේ ය. අදත් දිනමිණ ඒවා ප්‍රතික්ෂේප කරන්නේ ය. ඕනෑම කෙනකුගේ ජීවිතයට අතිශයින් ම වැදගත් තොරතුරු හා දැනුම් පද්ධති පමණක් දිනමිණ පරිහරණය කරයි.

මිථ්‍යාව වැපිරීමෙන් පත්තරයක අලෙවිය ශීඝ්‍රයෙන් වැඩිකර ගත හැකි ය. එහෙත් අප පුවත්පත කිසි දිනෙක මිථ්‍යා සංකල්ප ගොඩනැඟීමට හවුල් වූයේ නැත. මිථ්‍යාවට අදාළ සංවාදවලට පමණක් පත්තරයෙහි යම් ඉඩක් ලබා දී තිබුණේ යථාර්ථය වටහාගැනීම සඳහා ඒ මඟින් යම් පසුබිමක් සකස්වන බැවින් ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් උපරිම අවකාශයක් ලබාදීමටද පත්තරය හැමවිටම උත්සුක වී තිබේ. නූතන විද්‍යාවේ අලුත් සොයාගැනීම්, සමාජ චින්තනයේ නව ප්‍රවණතා, සාහිත්‍යයේ හා කලාවේ රස වින්දනය යනාදිය සම්බන්ධයෙන් දිනමිණ දක්වා ඇති සන්නිවේදන අනුග්‍රහය බොහෝ දෙනකුගේ අවධානයට ලක් වී ඇත. හොඳ පත්තරයක් යනු ජන සමාජයට අවශ්‍ය සියලු ක්ෂේත්‍ර ස්පර්ශ කරන්නකි. දිනමිණ ද එවැන්න කි.

ලේක්හවුස් ආයතනය සැලැකිය හැක්කේ මෙරට පත්තර කර්මාන්තයේ පරමාදර්ශී ස්ථානය හැටියට ය. මේ ආයතනය ආරම්භ වන්නේ දිනමිණ පුවත්පත කේන්ද්‍රකොටගෙන ය. පළමුව ආයතනය හඳුන්වන්නේ ද දිනමිණ කන්තෝරුව යන නමින් ය. අග්නිදිග ආසියාවේ විධිමත් පත්තර කාර්යාලයකට ආදර්ශයක් ලෙස ද අප ආයතනය හඳුන්වනු ලැබේ. අද මේ ඔස්සේ සම්ප්‍රදායයන් දෙකක් ගොඩනැඟී ඇත. පළමු සම්ප්‍රදාය වන්නේ ජාතියට හා රටට හිතකර සාධනීය පත්තර කලා ක්‍රමවේදයක් ගොඩනැඟීම ය. දෙවන සම්ප්‍රදාය වන්නේ මේ කර්මාන්තය තුළ විධිමත් මානව සංවර්ධන ක්‍රමවේදයක් ගොඩනැඟීම ය. පත්තර කලාවේ දැවැන්තයන්ගේ මුල් වෘත්තීය පාසල වූයේ දිනමිණ කන්තෝරුව ය. එලෙස ම විධිමත් මානව සම්පත් කළමනාකරණ සම්බන්ධයෙන් සම්මාන ලැබීමට ද අප ආයතනය සමත් වී තිබේ.

පත්තරයකට ජාතියක් හා රටක් විනාශ මුඛයට ඇද දැමීමට පුළුවන. කැරලි, කෝලාහල හා යුද්ධ ඇති කිරීමටත් පුළුවන. ඇතැම් පත්තර තිස් අවුරුදු යුද්ධයට වගකිව යුතු බව ප්‍රකාශ වී ඇත. ජාතිවාදී හා ආගම්වාදී කලබල රාශියක් පසුගිය කාලය තුළ රටේ ක්‍රියාත්මක විය. ඒවා පුපුරායෑමට ඇතැම් පත්තරවල බලපෑම හොඳටම පැවැතිණි. සමාජ වෙබ් අඩවිවල බලපෑම ද හොඳටම පැවැතිණි. මෙබඳු අවස්ථාවල දී දිනමිණ හැම විට ම ක්‍රියා කළේ සංහිඳියාව හා සහජීවනය යන ප්‍රතිපත්ති මත ය. ජාතික සමඟියට ද, ආගමික සහජීවනයටද අප පුවත්පත මඟින් ඉටුවී ඇති සමාජ හා ජාතික මෙහෙවර කාගේත් අවධානයට ලක්විය යුත්තකි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ජන මාධ්‍ය ආයතනයක තවත් වගකීමකි. රටේ පාසල් දරුවන් පත්තර ගැන ඉගෙනීමට එන්නේ දිනමිණ කන්තෝරුව වෙත ය. පත්තරයක කලාත්මක පාර්ශ්වය මෙන් ම තාක්ෂණික අංශය ද හැදෑරිය හැකි හොඳම ආයතනය අපේ කන්තෝරුව යැයි කියන්නට පුළුවන. රටේ විශ්වවිද්‍යාල කිහිපයක විද්‍යාර්ථීහු වාර්ෂිකව දිනමිණ කන්තෝරුවට පැමිණ මාස කිහිපයක පුහුණුවීම් ලබාගෙන යති. මේ සියල්ල සිදුවන්නේ නොමිලයේ ය. ජන සන්නිවේදනයේ උසස් අධ්‍යාපනය සඳහා දිනමිණට එන වැඩි පිරිස පසුව වෘත්තීය ජනමාධ්‍යවේදීහු බවට පත් වෙති. එය අපට නිහතමානී ආඩම්බරයකි. අප ආයතනය මේ අයුරින් ජාතික වගකීම් ගණනාවක් ඉටු කරන බව සඳහන් කළ යුතු ය.

රාජ්‍යයට පක්ෂපාතී වීම අපට එල්ලවන ප්‍රධාන චෝදනාවක් ලෙස සැලැකිය හැකි ය. එහෙත් රජයේ සියලු දේශපාලන මතවාද ප්‍රචාරය කිරීමට අප බැඳී නැත. එබඳු දේශපාලන බලපෑමක් ද අපට නැත. එහෙත් රජයක් ගෙන යන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ජනතාව දැනගත යුතු ය. සංවර්ධන සන්නිවේදනයේ මූලධර්ම බොහෝ පත්තර ආයතන අමතක කර දමා ඇතත්; අපි ඊට ප්‍රමුඛතාවක් ලබා දෙන්නෙමු. එලෙස ම ඊට අදාළ සාධනීය විවේචන ද මතු කරන්නෙමු. මේ සියල්ලට ම පිළිවෙළක් - ක්‍රමවේදයක් හා කලාවක් පැවැතිය යුතු ය යන්න අපගේ පිළිගැනීම ය. එම පිළිගැනීම හා එහි ප්‍රතිපත්ති අප ශක්තිමත් කර තිබේ. අපේ ගමන හෙමින් විය හැකි ය. එහෙත් එය ස්ථාවරය .

දිනමිණ මෙතෙක් පැමිණි ගමන් මාර්ගයෙහි අභියෝගාත්මක අවස්ථා විශාල ප්‍රමාණයක් තිබිණි. ඒ සෑම අවස්ථාවකටම ඉවසිල්ලෙන් මුහුණ දී අභියෝග ජය ගැනීමට ද අපි සමත් වී ඇත්තෙමු. වෙළෙඳ ලෝකය ජය ගැනීමේ බරපතළ සැලැසුම් හා අපේක්ෂාවලට වඩා ජනතාව අඩියකින් ඔසොවා තබන පත්තර කලාවකට අපි කැමැත්තෙමු. අප සත්‍යය විකෘති කරන්නේ නැත. සත්‍යයට බටර් හා සීනි තවරන්නේ ද නැත. දිනමිණ හෙට දවසේ ද පත්තරයක් බවට පත්වන්නේ ඒ නිසා ය.

නව අදහස දක්වන්න