ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීම ‍අපට ‍ලොකු අභිමානයක් | දිනමිණ

ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීම ‍අපට ‍ලොකු අභිමානයක්

ෆවුස් මොහොමඩ්

පිටියෙන් පිටත කෙතරම් මතවාද පැතිරී ගියත් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලින් ඉන් නොමග නොයන බවත්, සත්‍යය කුමක්දැයි ඔවුන් අවබෝධ කරගෙන සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පරාජයෙන් පසුව ක්‍රීඩකයන් අරභයා විවිධ මතවාද පැතිරී ගියත් එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියට ඒ කිසිවක් අදාළ නොවන බව ද හෙතෙම කියා සිටියේය.

සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට ඇරැඹෙන එක්දින තරගාවලිය සම්බන්ධව පසුගියදා කොළඹ මෝවන්පෙක් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදි අදහස් පළ කරමින් මැතිව්ස් එසේ කීවේය.

'කණ්ඩායමේ මානසිකත්වය රඳවා තබාගත යුතුයි. සිම්බාබ්වේ තරගාවලිය ආරම්භවීමට සූදානම්. පිට දේවල්වලින් අපේ මනස බිඳ දමාගන්න බෑ. අපි ඒ ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ.' ඔහු කීවේය.

'දැන් ඉන්න ජනතාව නොමඟ යවන්න බෑ. ජනතාව දන්නවා හරිදේ මොකක්ද වැරැදි ‍දේ මොකක්ද කියලා. ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීම අපිට ලොකු අභිමානයක්. අපි සියයට තුන්සියයක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙනවා. මම අයි.පී.එල්. තරගාවලියේ දී පන්දු යැවීම ගැනත්, චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී පන්දු නොයැවීම ගැනත් විවිධ මත පළවෙනවා. ඒක සිද්ධ වුණේ මට ලැබී තිබූ වෛද්‍ය උපදෙස් අනුවයි. චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පුහුණු තරගවලදී මම පන්දු යැව්වා. ඒත් ඔස්ට්‍රේලියාව එක්ක තිබුණු තරගයේදී ම‍‍ගේ ආබාධය නැවත මතුවීම නිසා චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී පන්දු යවන්න එපා කියලයි මට උපදෙස් ලැබී තිබුණේ. එතැනදි මට පිතිකරුවකු ලෙස කටයුතු කිරීමටයි පැවැරී තිබුණේ.' මැතිව්ස් සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට උපරිම අයුරින් ක්‍රීඩා කළත් ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරද්දී එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවට පැතිරී ඇති මතවාද සත්‍යයෙන් ‍තොර බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.

සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට ඇරැඹෙන එක්දින තරගාවලිය සම්බන්ධව පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදි සුමතිපාල මහතා මේ අදහස් පළ කළේය.

'සමහරු හිතනවා අපේ ක්‍රීඩකයන් අයි.පී.එල්. ගහද්දී හොඳට කරනවා ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරද්දී එහෙම නෑ කියලා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්. ඒ වගේ මතවාද හැදුවේ පහුගිය කාලයේ හිටපු ඇතැම් ක්‍රිකට් බලධාරින්. දැන් ඒක බිඳින්න තරමක් අමාරුයි. ඒක තමයි තිත්ත ඇත්ත. ඒත් ක්‍රීඩකයන්ට චෝදනා කරන එක වැරැදියි. පාකිස්තානය චැම්පියන්ස් කුසලානය දිනාගත්තේ එයාලගේ රටේ අවුරුදු 10ක්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නොමැතිවයි.'

අයි.පී.එල්. යන එක අපිට වාසියි. ඒත් ඒ තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න සිදුවුවහොත් ක්‍රීඩකයන් ඊට සූදානම් විය යුතුයි. අයි.පී.එල්. හරි මොන පී.එල්. හරි ගහන්න ඕනා ක්‍රිකට් ක්‍රීඩකයන් මිස පාපන්දු ක්‍රීඩකයන් නෙවෙයි. ඒක වරදක් නෙවෙයි. අපිට නිවැරැදි සැලැස්මක් තියෙනවා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න ඕන කො‍හොමද කියලා. අපි ඒක කරනවා. ඒක අපේ වගකීම. 'තිලංග සුමතිපාල මහතා කීවේය.

ඡායාරූප - රංජිත් අසංක 

නව අදහස දක්වන්න