ආසියානු ග්‍රොන් ප්‍රී දෙවැනි අදියරේදී අද ක්‍රීඩක දක්ෂතා අධික ශීතලට ගල් වෙයිද? | දිනමිණ

ආසියානු ග්‍රොන් ප්‍රී දෙවැනි අදියරේදී අද ක්‍රීඩක දක්ෂතා අධික ශීතලට ගල් වෙයිද?

ප්‍රින්ස් ගු ණසේකර චීනයේ ජියෑෂෙන්ග් සිට...

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ දෙවැනි අදියර චීනයේ නැ‍ඟෙනහිර ෂේජියෑන් පළාතේ ජියෑෂින්ග්හීදී අද පැවැත්වෙයි. ෂැංහෑයි සිට කිලෝමීටර් 98ක් දුරින් පිහිටි ජියෑෂින්ග් ක්‍රීඩා සංකීර්ණය අවට ඊයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක් දක්වා පහළ බැස ඇති හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පුහුණු සැසි දෙකක් පැවැත්වූ අතර පදක්කම් දිනා ගැනීමේ බලාපොරොත්තු ශීත කාලගුණය හමුවේ අභියෝගයක්වේද යන සැකය දැන් මතුව ඇත.

මේ අතර ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියට සහභාගීවී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ‘කුකුලු මස්’ ආහාරයට දීමෙන් වැලකී සිටීමට සංවිධායකයෝ ඊයේ සිට පියවර ගත්හ. එයට හේතුවවී ඇත්තේ ජියෑෂින්ග් අවට ප්‍රදේශයේ කුකුලන්ට රෝගයක් වැළදීමය. එමෙන්ම බෝතල් වතුර පානය නොකරන ලෙසත්, වතුර උණුකර නිවා පානය කරන ලෙසත් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවවාද කොට ඇතැයි කළමනාකරීණී භද්‍රා ගුණවර්ධන මහත්මිය පැවැසූවාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීටර් 800 ක්‍රීඩිකා නිමාලී ලියනාරච්චි හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක වරුණ ලක්ෂාන් ආබාධ තත්ත්වයක් මැද අද දින දෙවැනි අදියරට එක්වන බව ඇය සඳහන් කළාය. වරුණ ලක්ෂාන්ගේ විලුබ ප්‍රදේශයේ හා නිමාලී ලියනාරච්චිගේ වම් පාදයේ ඇතිවී තිබෙන ආබාධය මැද තරගයට එක්වීමට සිදුව ඇත.

ප්‍රධාන පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා පැවැසු‍වේ වරුණ ලක්ෂාන් පළමු අදියරේදී තරග කළ ‘මොන්ඩෝ’ ධාවන පථය ඔහුට නුහුරු බැවින් හෙල්ල විසි කිරීමේදී පාදයේ ආබාධයක් ඇතිවූ බවය. “ශ්‍රී ලංකාවේ පුහුණුවන්නේ ‘සිනතටික්’ ධාවන පථයක. මේ වගේ උසස් ප්‍රමිතියෙන් යුතු ධාවන පථ අපට නුහුරුයි. වරුණ හෙල්ල විසි කිරීමට දුවගොස් පාදය තබද්දී මේ ආබාධය ඇති වුණේ. අනික අධික ශීතල නිසා ක්‍රීඩකයාගේ අත පය ගල් වෙලා වගේ. ඇඟ උණුසුම් ව්‍යායෑම් කලත් දහදිය දමන්නේ නැති තරමට ශීතලයි. හෙල්ල විසි කිරීමේ ඉසව්ව සාමාන්‍යයෙන් පැය එකහමාරක් විතර පැවැත්වෙනවා. ශීතල මැද තරගයට යද්දී ක්‍රීඩකයන්ට විශාල අපහසුතා ඇතිවෙනවා. මොනවා වුණත් අපේ උත්සහය අත් හරින්නේ නෑ” නිශාන්ත මහතා පැවැසීය.

පළමු අදියරේදී තරගාවලියේ තාක්ෂණික කමිටුව ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකාවේ සිට රැගෙන ආ ‘නේමීත්’ වර්ගයේ හෙල්ල අද පැවැත්වෙන තරගයට භාවිතා කිරීමට අවසරය ලැබුණ බව ඒ මහතා සඳහන් කළේය.

චීනයට පැමිණ සිටින නිමාලී ලියනාරච්චිගේ පෞද්ගලික පුහුණුකරු සුජිත් නිලන්ත මහතා පවසන්නේ ක්‍රීඩිකාව මීටර් 800 තරගයට සහභාගී කරනවාද නැද්ද යන්න පිළිබඳ දෙලොවක් අතර සිටින බවයි. ඇයගේ වම් පාදයේ ආබාධයට හේතුව කලක සිට පැවැත එන්නක් බවත්, එම ආබාධය මතු වූයේ සපත්තුව පැළද ධාවනයේදී ඇතිවීමෙන් බව විද්‍යාත්මකව තහවරු කරගත්බව ඒ මහතා පැවැසීය. “මේ තරගාවලිය නිමාවූ වහාම නිමාලී කටාර් වෙත යවා කකුලට හරියන සපත්තුවක් සාදා ගත යුතුයි. ක්‍රීඩා වෛද්‍ය ඒකකය ඒ සඳහා කටයුතු යොදමින් සිටිනවා. මෙයට සතියකට කලින් හොඳ කාලයක් වාර්තා කළ නිමාලී මෙලෙස පසුබැසීමට හේතුව තායිලන්ත භෞත චිකිත්සකයෙකුට පෙන්වා සොයා බැලුවා. ඔහුගේ මතය වුණේ ක්‍රීඩිකාව තරගයට සහභාගී නොකළ යුතු බවයි. නමුත් මට ඇයගේ ධාවනය පිළිබඳ මේ අදියරේදී අධ්‍යයනය කරන්න තියෙනවා. ඒ නිසා අද තරගයට ඇය සහභාගී විය යුතුයි” පුහුණුකරු සුජිත් නිලන්ත මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවෙන් වසර ගණනාවකට පසුව යගුලිය විසි කිරීමේ තරග ඉසව්වකට එක්ව සිටින තාරිකා ප්‍රනාන්දු අද දින ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයට එළැඹීමට සිහින දකිමින් සිටීමද විශේෂත්වයකි.

 

නව අදහස දක්වන්න