එස්.එෆ් ලොක්කා ජීප් රථයක් පැහැර ගනී | දිනමිණ

එස්.එෆ් ලොක්කා ජීප් රථයක් පැහැර ගනී

ලීසින් සමාගමක් විසින් අත්පත්කර ගෙන කොළඹ පිහිටි මූල්‍ය ආයතනයට ගෙන යමින් තිබියදී වසන්ත සොයිසා ඝාතන සිද්ධිය මෙහෙයවූ එස්.එෆ් ලොක්කා ඇතුළු පිරිසක් එක්වී ටියුෂන් ගුරුවරයෙකුගේ කොන්ත්‍රාත්තුවක්මත බලහත්කාරයෙන් පැහැරගත් සුඛෝපොභෝගී ජීප් රථය මිහින්තලය පොලිස් වසමේ කුරුන්දන්කුළමේ පිහිටි නිවසක සගවා තිබියදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (23) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය (21) වනදා සවස අනුරාධපුර පැරණි පූජා නගරයේදී මල්අතු පටුමග ප්‍රදේශයේදී සුදුවෑන් රථයකින් පැමිණි එස්.එෆ්. ලොක්කා නොහොත් ඉරෝන් රණසිංහ ඇතුළු මැරයන් තිදෙනෙකු ලිසිං සමාගමේ අත්පත්කර ගැනීමේ නිළධාරීන් විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව කොළඹට ගෙනයමින් තිබූ රුපියල් කෝටී එකහමාරක් පමණ වටිනා ජීප් රථය පැහැරගෙන තිබෙන අතර රථය පැහැර ගැනීමෙන් අනතුරුව එස් .එෆ් ලොක්කා විසින් රථය ටියුෂන් ගුරුවරයා වෙත බාරදී තිබේ.

මෙම සිද්ධියට අදාල ගුරුවරයා විසින් ජීප් රථය ඔහු ටියුෂන් පන්ති පවත්වාගෙන යන අනුරාධපුර නව නගරයේ පිහිටි ගොඩනැගිල්ලේ හිමිකරුගේ කුරුන්දන්කුළම පිහිටි නිවසේ සගවා තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි.

මේ අතර ටියුෂන් ගුරුවරයා විසින් එස්.එෆ්. ලොක්කාට ලබාදුන් රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත් තුවක්මත රථය පැහැර ගැනිම සිදුව තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර පොලිස් භාරයට ගත් සැකකාර ටියුෂන් ගුරුවරයා පොලිසියට පවසා ඇත්තේ ලීසින් සමාගම රැගෙන ගිය රථය පැහැර ගැනීම සදහා කිසිදු කොන්ත්‍රාත්තුවක් ලබා නොදුන් බවයි.

ලීසින් සමාගමට ලීසින් වාරික කිහිපයක් ගෙවීමට තිබුණු බවත් 21 වනදා ටියුෂන් ආතනයට පැමිණි තිදෙනෙකු රථය රැගෙන යාමට උත්සහකල අවස්ථාවේ තමන් මෝටර් රථයට නැග වේගයෙන් පොලොන්නරුව නගරයට රථය ධාවනය කලබව ඔහු පොලිසියට පවසා තිබුණි.

 ජීප් රථය පැහැර ගැනීමට පිරිසක් පැමිණිබව පවසමින් ටියුෂන් ගුරුවරයා පොළෙන්නරුව පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත්කර තිබෙන අතර සිද්ධිය සිදුවූ ආකාරය අනාවරණය කර ගැනීම සදහාත් රථය පැහැර ගැනීමෙන් අනතුරුව පොලිසියට බියෙන් පළාගොස් සැගව සිටින එස්.එෆ්.ලොක්කා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

නව අදහස දක්වන්න