ගරු මන්ත්‍රීතුමා අතුරුදන් වී ඇත | දිනමිණ

ගරු මන්ත්‍රීතුමා අතුරුදන් වී ඇත

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ‘මහජන මන්ත්‍රී’, ‘පාර්ලිමේන්තු මන්ත්‍රී’ බවට පත්වී ‘දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී’ වූ ආකාරය ඔස්සේ අතීත ආවර්ජනයක යෙ‍ෙදන අපට, අද දවසේ ජනතා පරමාධිපත්‍යය හිමි ඒ මහජන නියෝජිතයන් ආණ්ඩුවේ වැටුප්, දීමනා, වරප්‍රසාද, යාන වාහන ලබන, විශ්‍රාම වැටුපකට ද හිමිකම් කියන ‘රජයේ සේවකයන්’ වූ ආකාරය පැහැදිලිය.

එදා මහජන සේවය සඳහා පිවිසියේ ඒ ඒ ප්‍රදේශවල උගතුන්, බුද්ධිමතුන්, දානපතියන්, යමක් - කමක් තිබූ සමාජයේ ගෞරවයට පාත්‍රවුණු ප්‍රභූන්ය. ‘ගරු මහජන මන්ත්‍රීවරු’ පමණක් නොව, ගම් සභාවල සභාපතිවරු, නියෝජිතයන් (මැම්බර්වරු) අතලොස්සක් වූ නගර සභාවල නගරාධිපතිවරු හා නාගරික මන්ත්‍රීවරුද සිය මහජන සේවාවන් ඉටුකළේ වැටුප් - දීමනා නොමැතිවය. ඒවා ලබාගැනීම මදි-පුංචිකමක් ලෙස ඔවුන් විසින් සලකන ලදී. සමාජයේ ගෞරවයට පාත්‍ර වී ප්‍රභූන් ලෙස ඔවුන් ලැබූ බුහුමන්වලට දැඩි ගරුත්වයක් මෙන්ම ආදරයක්ද දැක්වූ බව නොරහසකි.

එදා සුවිශාල මැතිවරණ කොට්ඨාස ‘ආසන’ විය. මහජන ඡන්දයෙන් පත්වන නියෝජිතයන් ‘ගරු මහජන මන්ත්‍රීවරු’ විය. මුල් අවධියේ ඔවුන්ට දීමනාවක් ලෙස රුපියල් 500/-ක් ලබාදෙන ලදී. වෙනත් කිසිදු වැටුපක් - දීමනාවක් නොවීය. බොහෝදෙනෙකුට පෞද්ගලික වාහන නොතිබිණි. මන්ත්‍රීවරු දෙතුන් දෙනෙකු වාහනයක් සතු මන්ත්‍රීවරයෙකු සමඟ පාර්ලිමේන්තු ගියහ. බොහෝ අය දුම්රියේ මෙන්ම බස්රියෙන්ද පාර්ලිමේන්තුවට ගිය අතර ඔවුන්ට නිදහස් දුම්රිය බලපත්‍ර ලබාදී තිබුණි. පාර්ලිමේන්තුවට යාම සඳහා කොළඹ යන මහජන මන්ත්‍රීවරු නවාතැන් ගත්තේ ඒ සඳහාම වෙන්වූ ‘ ශ්‍රාවස්ති මන්දිරයේය’. සමහරු කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිටි සිය ඥාතීන් හා හිතවතුන්ගේ නිවෙස්වල නවාතැන් ගත්හ.

දැන් ඒ ‘ශ්‍රාවස්ති මන්දිරය’ බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණය සඳහා යොදාගෙන තිබේ. තම ආසනයේ ඡන්ද දායකයන්ගේ රැකියා ප්‍රශ්න හා අමාත්‍යාංශවලට යොමු කළ යුතු ප්‍රශ්න ඒ මන්ත්‍රීවරයාම කොළඹ රැගෙන ගොස් මැති-ඇමතුවරු හමුවී ඒවා ඉටුකර ගෙනැවිත් දීම බො‍හෝවිට එකල සිදුවිය. ‘ශ්‍රාවස්තියෙන්’ අඩුමිල‍ට කෑම කා රටේම මන්ත්‍රීවරු හා සහජීවනයෙන් දින කීපයක් එකට ගත කර පාර්ලිමේන්තු සැසිවාරවලට ද සහභාගි වී ආපසු තම ආසනයට එන මහජන මන්ත්‍රීවරු ‘අල්පේච්ඡ’ ජීවිත ගත කළහ. ගම් සභාවල හා නගර සභාවල නියෝජිතයින් ද ජනතාව හා පුදුමාකර ළෙන්ගතුකමකින් බැඳි සිටියහ. ඔවුන් ගමේ - නගරයේ ළිං - පොකුණු - ඇළ වේලි ශුද්ධ පවිත්‍ර කිරීම - කුඩා පාරවල් හෙළි පෙහෙළි කිරීම ආදි කටයුතුවලදී ජනතාව සමඟ උරෙනුරගැටී කටයුතු කිරීම එකල අරුමයක් නොවීය.

පොළොවේ වැලිකැටයේ සිට අහසේ අනන්තය දක්වා වූ සියලු දේවල් පාලනය කිරීමේ බලය මේ ජනතා නියෝජිතයන්ට කිසිවකු පවරා නොතිබුණද, අද අපට පෙනෙන්නේ ඒ ආකරයේ සර්වබලධාරී දේශපාලනඥයන්ය.

බණ්ඩාරනායක යුගයේදී තේමිස්ලා, ටී. බී. තෙන්නකෝන්ලා, නිමල් කරුණාතිලකලා වැනි ධනවත් පැලැන්තියේ හා ප්‍රභූ තත්ත්වයේ නොවූ බොහෝ පිරිසක් දේශපාලනයට අවතීර්ණ වී පාර්ලිමේන්තු නියෝජිතයන් වුවද ඔවුහු තම ගෞරවනීය ‘මන්ත්‍රී නාමයට’ කැළැල් නොකර ගත්හ. රටක නීති හදන ස්ථානය පාර්ලිමේන්තුවය. එවැනි තැනක නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටත සමාජයේදී ද විනීතව - සංවරව ගෞරුත්වය ආරක්ෂාවන ආකාරයට හැසිරීම අත්‍යවශ්‍යය. උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජිතයන් දූෂිත - වංචනිකයන් වූ විට, හොර ජාවාරම්කාරයන් වූ විට, පාදඩ මැරයන් වූ විට රටකට යන කලදසාව කුමක්ද? පසුගිය යුගයේ අප අත්වින්ද බොහෝ දෑ වලින් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තුවේ වූ මහා කඩාවැටීම සමාජයට ද බලපෑ බවය.

පෞද්ගලික වාසි සඳහා පක්ෂමාරුව මේ දූෂිත ක්‍රියාදාමයන් තවත් තීව්‍ර කළේය. පාර්ලිමේන්තු මැති -ඇමැතිවරුන්ගේ විනය කඩාවැටුණ විට ප්‍රාදේශීය සභා නගර සභා හා පළාත් සභාවල විනයද විනාශ විය. මුදල් පසු පස හඹායාමෙන් මුළු දේශපාලන සදාචාරයම විනාශ විය. නීති හදන අයම නීති කඩයිනම් රටක් පවතීද? වත්මන් ආණ්ඩුව මන්ත්‍රීවරු සඳහා චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීමට යෑම අගය කළ යුත්තේ ඒ කඩාවැටීම යළි ගොඩනැඟිය හැක්කේ ඔවුන්ටම බැවිනි. මේ සියලු මන්ත්‍රීවරුන්ගේ ‘ස්වාමිවරුන්’ වන්නේ ජනතාවය.

ඔවුන් එය නොසලකති.විවිධ අවශ්‍යතා ඉටුකරදීමට අල්ලස් ගැනීම, රාජ්‍ය මුදල් වංචා කිරීම, කොන්ත්‍රාත් හෝ ජාවාරම්වල යෙදීම එකල මන්ත්‍රීවරු මෙන්ම සමාජය ද පිළිකුල් කළහ. එදා සේනානායකවරු, බණ්ඩාරනායකවරු සිය පරම්පරා දේපළ පවා විකුණමින් දේශපාලනයේ යෙදුනේ මේ ‘සමාජ ගරුත්වය’ රැකීමේ අභිලාෂයෙනි. එකල දේශපාලනයට පිවිසි මහජන මන්ත්‍රීවරු වී ඇමතිකම් දරා පසුකලෙක ආර්ථික අතින් අන්ත අසරණව ජීවත්වූ පිරිස් අපේ දේශපාලන වංශකතාවේ ඇත්තේ එහෙයිනි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ පුවත්පත් සම්බන්ධ ප්‍රශ්නයකදී ආණ්ඩුව පෙරළා දැමීමට අවශ්‍ය මන්ත්‍රීවරයකු සොයාගැනීම පිළිබඳ මෙහි සටහන් කරන්නේ එකල පැවති තත්ත්වයත් අද පවතින විෂම තත්ත්වයත් වටහාගැනීම පිණිසය. එදා විපක්ෂ නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා මේ බැරෑරුම් කාරණය පැවරුයේ මාතලේ ආසනයේ මහජන මන්ත්‍රීවූ ඇලික් අළුවිහාරේ මහතාටය. ඒ සඳහා රුපියල් 25,000/= (විසිපන්දහසක මුදලක්) හා විස්කි බෝතලයක් ද ඇලික් අළුවිහාරේ මන්ත්‍රීවරයාට ලැබී තිබේ.

ඔහු ඒ සියල්ල ද රැගෙන මාතලේට පැමිණ තානායමේදී ලග්ගල මහජන මන්ත්‍රී ලෙස සිටි කේ. ඇම්. කේ. බණ්ඩාර මහතා මුණගැසී තිබේ. දෙදෙනා විස්කි බෝතලයෙන් සප්පායම්වී ආණ්ඩුව පෙරළීම සඳහා අවශ්‍යව ඇති එක ඡන්දය ලබාදෙන ලෙසත් ඉන්පසුව ඒ වෙනුවෙන් ලබාදෙන වරප්‍රසාද ගැනත් ඇලික් අළුවිහාරේ මහතා ප්‍රකාශ කර තිබේ.

“අනේ ඇලික්... මම කොහොමද මේක කරන්නේ. මේ සල්ලි මට එපා. මට මිනිස්සු ශාප කරයි. මමත් උඩරට මිනිහෙක්... කොහොමද සිරිමාවොගෙ ආණ්ඩුව පෙරළන්න ඡන්දෙ දෙන්නේ’යයි පැවසූ ඇම්. ඩී. බණ්ඩා යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. මේ ප්‍රකාශයෙන් කැළඹුණු ඇලික් අළුවිහාරේ මහතා මුදලද රැගෙන ගොස් ජේ. ආර්. ජයවර්ධන මහතා හමුව තිබේ. “අනේ සර්, ඒ වැඩේ නම් කියන්න එපා. මේ මුදල ආපසු ගන්න... අපි විස්කි බෝතලේ නම් බීවා. ඒක ආපසු ගෙනැවිත් දෙන්නම්’යැයි කියා තිබේ. මාතලේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු ඒ සඳහා නම්මවාගෙන එදා ආණ්ඩුව පෙරළාදැමීම සිදුවිය. අද දවසේ කෝටි - ප්‍රකෝටි ගණනින් දේශපාලනඥයන් අතර මුදල් හුවමාරුවන ආකාරය කිසිවකු ගණන් නොගන්නා තත්ත්වයක් උද්ගතවී තිබේ.

ක්‍රමයෙන් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අතර, ඔවුන්ට නිශ්චිත දිමනා, ඉන්ධන දීමනා, සංග්‍රහ දීමනා ලබාදීම ඇරඹේ. ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවෙන් සුළුවෙන් ඇරඹි මේ වැටුප් සෙල්ලම 1977 ආණ්ඩුවෙන් පසු විශාල ලෙස වැඩිවූ අතර වාහන ලබාදීම ද සිදුවුණි. ප්‍රේමදාස යුගයෙන් ද ප්‍රසාරණය වන මන්ත්‍රී වැටුප් හා දීමනා කූඨප්‍රාප්තිය ලබන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදීය.

1978 ව්‍යවස්ථාවෙන් පසු ‘දිස්ත්‍රික් පාර්ලිර්ලිමේන්තු මන්ත්‍රී වන ‘මහජන නියෝජිතයින්’ ආසන ක්‍රමයෙන් මිදී මනාප ක්‍රමයට ගොස් අද වනවිට සුපිරි රාජ්‍ය සේවකයන්‍ ලෙස වරදාන, වරප්‍රසාද ලබමින් සිටී.

දියුණුවන ලෝකයේ නව තාක්ෂණය ලොවම වැලඳ‍ෙගන ඇති මෙකල පාර්ලිමේන්තු තනතුරු එදා මෙන් ගරු වෘත්තියක් ලෙස කටයුතු කළ යුතු යැයි අප නොකියමු. පාර්ලිමේන්තුව ආකාරයටම පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා ආදියේ ද කටයුතු බහුලවී, සංකීර්ණවී ඇති බව සැබෑවකි.

අද මේ මැති - ඇමැතිවරුට පැවරී ඇති වගකීම් ප්‍රමාණය විශාලය. සාමාන්‍යයෙන් අප දක්නා ආකාරයට බැලුවද මන්ත්‍රීවරයකුට වැටුප ලක්ෂයකට අධිකය. වාහන ලබාගැනීම සඳහා කෝටි 2 සිට 7 දක්වාවූ බදු රහිත බලපත්‍ර ලැබේ. බොහෝ අය ඒවා කෝටි ගණන්වලට විකුණා තිබේ. පාර්ලිමේන්තුවට යාම වෙනුවෙන් දීමනා ලැබේ. සංග්‍රහ දීමනා, දුරකථන දීමනා, ඉන්ධන දීමනා, අඩු පොලී අනුපාත යටතේ ණය සහන, මන්ත්‍රී නිල නිවාස - නැත්නම් ලක්ෂයක දීමනා, විශ්‍රාම වැටුප්, රියදුරු හා කාර්ය මණ්ඩලයක් ආදී වශයෙන් විවිධ වූ වරප්‍රසාද රැසක් අද ලැබේ. මේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ ජනතා පරමාධිපත්‍ය නම් ජනතාව මහජන නියෝජිතයන් මෙතෙක් ලබා ඇති වරප්‍රසාද, සහනවලට සාපේක්ෂව ලබාගෙන ඇත්තේ සුළු සහන ප්‍රමාණයකි.

එක් අතකින් ඔවුන් එසේ සුපිරි ‘රාජ්‍ය සේවකයන්’ වෙද්දී නගර සභාවල හා ප්‍රාදේශීය සභා මෙන්ම පළාත් සභාවල මැති ඇමැතිවරුන් ද ඒ මාවතේ යමින් සිටිති. අද ඔවුන්ද හොඳ වැටුප් - දීමනා හා වරප්‍රසාද ලබති. එසේම අද ව්‍යාපාර, ඉන්ධන පිරවුම්හල්, මත්පැන්හල් බලපත්‍ර, ඉඩකඩම් ආදී ධනෝපායන මාර්ග නැති දේශපාලනඥයන් ‍සෙවීම දුෂ්කරය. බලය යොදාගෙන ධනය ඉපයීමේ ක්‍රියාවලිය අද වනවිට ඉහළම මට්ටමක පවතී. එදා ගරු මහජන සේවය වෙනුවට අද සුපිරි ධනෝපායන ක්‍රමවේදයක් ලෙස ‘ජනතා නියෝජිතකම’ යොදාගැනීම නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී සිදුවූ ‘කළු පැල්ලම්’ දේශපාලන වංශකථාවේ මකාදැමීම අපහසුය. අනෙක් අතට සමාජයේ බුහුමනට ලක්වූ අය අද දේශපාලනයට නො එන තත්ත්වයක් ද වර්ධනයවී තිබේ. එදා මෙන් යහපත් ලෙස ධනය උපයන ක්‍රමවේදවලින් බැහැරව හදිසි ධනවතුන් වීමේ අභිප්‍රායෙන් විවිධ දූෂිත ජාවාරම්වල යෙදීම සිදුවූ බව පිළිගැනීමට සිදුවේ.

අල්ලස් හා වංචා සිදුවී ඇති වාර අනන්තය. බලය අයුතු ලෙස යෙදවීම් ප්‍රමාණය විශාලය. නීතිය පසෙකලා මිනිස්කම, සදාචාරය, ගෞරවය පසෙක තබා මුදල් පසුපස දේශපාලනඥයන් හමායනවිට රටේ ජනතාව, ද එය පූර්වාදර්ශයට ගැනීම පසුගිය යුගයේ අත්දකින්නට ලැබුණි. දූෂිතම පිරිස් දේශපාලනය ආක්‍රමණය කළ අතර මේ අශීලාචාර අවලස්සන දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැක්කේද ඒ පිරිසටමය.

මහජන සේවය තුළ සැබැ ගෞරවණීයභාවය රැකගෙන යළි සමාජ බහුමනට ලක්වීම අද දේශපාලනඥයන් සැමගේ වගකීමකි. එසේ නොවුවහොත් අවසානයේ ජනතාව සිය පරමාධිපත්‍ය බලය යොදා ඔවුන්ට පාඩමක් කියාදෙනු නිසැකය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට සිදුවූ දෙය ඊට හොඳම උදාහරණයකි.

චින්තක බණ්ඩාර ඇල්කඩුව

 


අදහස් 1ක් ඇත

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...