නිහඬ වේද­නාවේ සාක්ෂි හඬ නඟයි | දිනමිණ

නිහඬ වේද­නාවේ සාක්ෂි හඬ නඟයි

තිඹි­රි­යා­ගම බණ්ඩාර

ඉතිහාසයේ බොහෝ සිදුවීම් කාලයේ වැලි තලාවෙන් වැසී යයි. එසේ වුව ද මුහුදු මහ විහාරයේ සෑ මුදුන මෙන් වැල්ලෙන් යට නොවන සිදුවීම් ද පවතී. උස්වන වැලි කන්දට වඩා සෑය උසින් වැඩි ය. මිනිස් හදවත්හි දුක් වේදනා කන්දක් තරම් උස් වූ කල්හි මොන ම බලවේගයකටවත් එය යටපත් කළ නොහැක. මේ කරුණු ටික සිහිපත් වූයේ සමාජ මූර්තිකරුවෝ වෙනුවෙන් රදිකා ගුණරත්න සංස්කරණය කළ නිහඬ වේදනාවේ සාක්ෂිය කෘතිය කියැවීමෙන් පසුව ය.

අනුරාධපුරය, අම්පාර, කිලිනොච්චිය, යාපනය යනාදී ප්‍රදේශ ගණනාවක ජීවත්වන තරුණ පිරිසකගේ පුද්ගල අත්දැකීම්වල වේදනාව මෙහි ලේඛනවල සටහන්ව තිබේ. මේ කතා සියල්ල යුද්ධයට මුහුණ දුන් අයගේ අත්දැකීම් ප්‍රස්තුත කර ගනී.

පසුගියදා මේ පොත ජනගත කරන ලද මොහොතෙහි එයට සහභාගිවීමේ අදහසින් පසු වුව ද නොවැළැක්විය හැකි හේතුවක් නිසා මඟහැරී ගියේ ය. මේ ගැන උනන්දුවෙන් පසුව මලික් චමින්ද ලේඛකයා ‍පොත මා අතට පත් කළේය. මත්තේගොඩ සිට කොටුවේ බසයක නැඟී අයිනක් අල්ලාගෙන පැමිණි මම බසයෙන් බසින විට පොත කියවා අවසන් කර සිටියෙමි.

පොතෙහි අන්තර්ගත වේදනාකාරී අත්දැකීම් නිසා වරින්වර දෑස පිසදමන්නට මා හට සිදු විය.

“ඔයා මොකක්ද මට මේ කළේ?” කාර්යාලයේ දී මලික්ට චෝදනා කළෙමි.

“මොකක්ද වෙච්ච වැරැද්ද?” ඔහු ඇසීය.

“පොත කියවන්ඩ දුන්නු එක!” මගේ චෝදනාව විය. එදින මට කිසිදු වැඩක යෙදිය නොහැකි විය. සතියක් ඉක්ම වූ තැන මේ ලියන මොහොතේ ද කම්පන තරංග හදවතේ ගමන් කරයි.

සංහිඳියා කොමිසමක් පිහිටුවීමේ යෝජනාව සම්මත වී හත්මසක් ගත වී ඇතත් කොමිසම හමස් පෙට්ටියේ බව මෑත දී අසන්නට ලැබිණ. එය ආරම්භ කරන මොහොතක කොමිසමට අවැසි වැදගත් සාක්ෂි ගණනාවක් මේ පොතෙන් හමු වේ. තිස් වසරක් දිග්ගැසුණු බිහිසුණු යුද්ධය නිසා ඥාතීන් අහිමි වූ, ආබාධයට ලක්වූ සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ගවලට අයත් විවිධ පුද්ගලයන්ගේ අත්දැකීම් මෙහි ඇතුළත් ලිපිවල සටහන්ව තිබේ. යුද්ධය නිසා මුළුමහත් මිනිස් සමාජයට සිදු වූ හානිය මිස තෝරාගත් ධාරාවකට සිදු වූ හානිය පමණක් මෙයට ඇතුළත් නොවේ. ඒ නිසා මේ උත්සාහය කිසිදු දේශපාලන ධාරාවක් වෙනුවෙන් පෙනී නොසිටී. එය අපක්ෂපාතී ය, මධ්‍යස්ථ ය, මානුෂවාදී ය. සංස්කාරකවරියගේ ආකල්ප හරස් නොවේ. එමෙන් ම වින්දිත පාර්ශ්ව විසින් ම තම අත්දැකීම් සටහන් කරනු ලැබ ඇත.

කැබිතිගොල්ලෑව ලක්මාලි කෞශල්‍යා, යාපනය ජෙයප්‍රශාන්ති, ඔළුවිල් රිෆ්නාස්, කිලිනොච්චි අමුතමලර්, කැබිතිගොල්ලෑව සිසිර කුමාර, යාපනය නයින මොහොමඩ්, දික්ඔය කන්දයියා යනාදී වශයෙන් නාමාවලිය තව දිගුවේ. ලේඛන සංඛ්‍යාව විසි නවයකි. ජෙයප්‍රශාන්තිගේ ලිපියෙන් කොටසක් උපුටා දක්වමි.

“සුණ්ඩුක්කුලි බාලිකා මහ විදුහලේ ශිෂ්‍යාවක් හමුදා රියක හැපී මිය ගියා ය. ඒ අසාධාරණය හඬගා කියන්නට මඟක් නැතිව දෙමළ ජනතාව හිස නමා ගොළුවන් සේ හිඳ ඇගේ අවසන් කටයුතු සිදු කළහ. මේ අවස්ථාවට සහභාගි වූ ක්‍රිෂාන්ති හවස් කාලයේ සිය බයිසිකලයෙන් නිවස බලා යමින් සිටින විට මඟ හරස් කළ හමුදා භට පිරිසක් ඒ කුඩා මලක් වැනි දැරිය බියෙන් බේරෙන්නට දඟලද්දී බලෙන් සිය කඳවුර තුළට ඇදගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර මරා දැමූ එපමණක් නොව වේලාව ගතවෙද්දී යළි නිවසට නොපැමිණි දියණිය සොයා ගිය නිවසේ තිදෙනෙකු ද සිය කඳවුර තුළට ගෙන ගොස් ගැට ගැසූ ඒ ම්ලේච්ඡ හමුදාව ඒ තිදෙනාට ද වෙඩි තබා මරා දැමූහ.”

(නිහඬ වේදනාවේ සාක්ෂිය 15 පිටුව)

මේ සිදුවීම සම්බන්ධයෙන් එකල හඬ නැඟූ පුවත්පත් අතර රාවය ද ප්‍රමුඛ විය. බැරිම තැන චුදිත සොල්දාදුවන් අත්අඩංගුවට ගැනිණ. රණවිරුවන්ට දඬුවම් දීමට එරෙහිව දකුණේ දේශප්‍රේමියෝ පෝස්ටර් ගැසූහ. ඒ දේශප්‍රේමය එදත් එසේ ය. අදත් එසේ ය. යුද්ධ සමයෙහි නීති විරෝධී කටයුතු කළ සොල්දාදුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන විට ඊට එරෙහිව දේශප්‍රේමය කෙළින් කිරීම දැනුත් සිදු වෙයි. රාසදුරෙයි පියනමගේ ලිපියෙන් කොටසක් උපුටා දක්වමි.

“පොකුරු බෝම්බ මුලින් පාවිච්චි කෙරුණේ පරන්තන් ප්‍රදේශයේ ය. පොකුරු බෝම්බවල ආකාර කිහිපයක් ඔවුන් විසින් යොදා ගැනීම සිදු විය. මෙහිදී ප්‍රධාන බෝම්බය අහසේ පිපිරී ගොස් කොටස් ගණනාවකට වෙන්වෙයි. ඉරණපාලෙයි වෙත පහර දෙන්නට යොදා ගත් එක් පොකුරු බෝම්බ වර්ගයක් වර්ණවත් පීත්ත පටි තැනුවේය. කුඩා ළමෝ එයට ආකර්ෂණය වී ඒවායේ කැබලි අහුලා ගත්හ. එවිට ඒවා පිපිරී ගියේ ය. (212 පිටුව)

යුද බිමේ සිදු වූ මෙවැනි බිහිසුණු දේවල් කිසිදා වසන් කළ නොහැක. කුඩා දරුවකුව සිටියදී කැබිතිගොල්ලෑව බස් බෝම්බයට හසු වී යන්තම් දිවි ගලවා ගත් සිසිර කුමාර මේ වන විට 20 හැවිරිදි තරුණයෙකි.

“මගේ බහිස්‍රාවී පද්ධතියට සිද්ධ වුණු හානියක් නිසා හරියට දුක් විඳිනවා. ම‍ගේ ඇඟේ එක්ස්රේ ගන්න හැම තිස්සේම ෂාප්නල් කෑලි පේන්න තියනවා. ඒවා අයින් කරන්න කවදාවත් බැරි වෙයි. මට මේ සිද්ධවුණු දේ ලෝකේ කිසිම කෙනෙකුට කවදාවත් වෙන්න එපා” රෝද පුටුවක ආධාරයෙන් ජීවත්වන ඔහුගේ පැතුම එයයි.

මේ කතා කියවන විට අප ඇසූ යුද බිමේ වාර්තා විසුලුජනක වෙයි. යුද්ධයේ එක් පාර්ශ්වයක කොටස්කරුවකු නොවී සත්‍ය වාර්තා කළ වාර්තාකරුවෝ අපට නොසිටියහ. ඒ නිසා බොරුව සත්‍යය බවට පත් විය. කොටි දෙනක ලෙස හංවඩු ගැසූ මාරි කොල්වින් යුද්ධ භූමියකදී මිය ගියේ අපක්ෂපාතී වාර්තාකරණයෙහි යෙදුණු නිසා ය. මෙරට පැවති යුද්ධය මානුෂීය මෙහෙයුමක් ලෙස නම් කෙරිණ. එසේ වුව ද ලොව කිසිදු යුද්ධයක් මානුෂීය නොවේ. අමෙරිකාව - ක්වේටය ආක්‍රමණය කරන විට එය මානුෂීය මෙහෙයුමක් බව ප්‍රසිද්ධ කෙරිණ. ඒ මෙහෙයුම තවමත් දියත් වෙයි. මැදපෙරදිග රුහිරු සංහාරයක් බවට පත්විය. දසලක්ෂයක් මිය ගියේ ය. තවමත් මිනිස්සු මිය යති. දෙවැනි ලෝක යුද්ධයේ දී බියකරු ජර්මන් හමුදා රුසියාව ආක්‍රමණය කළේ ය. රට අභ්‍යන්තරයට යන්නට ඉඩ දී නැවත නොනැගිටින ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියන් රතු හමුදාව සමත්විය. හිට්ලර්ගේ එස්. එස්. හමුදා කළ අපරාධවලට නොදෙවෙනි අපරාධ රතු හමුදාවෙන් ද සිදු වූ බව අනාවරණය විය. අත්අඩංගුවේ පසු වූ රතු සෙබළුන් ද යුද්ධයට සම්බන්ධ නොවූයේ යැයි චෝදනා එල්ල වූ සංචාරක ගෝත්‍ර ද රතු හමුදාව විසින් ඝාතනය කරන ලදී. ස්ත්‍රී දූෂණ සුලබ විය. යුද්ධයේදී මිය යන්නේ මනුෂ්‍යත්වය යි. යුද්ධයක් ඇති නොවන තැනට වගබලා ගැනීම පාලකයන්ගේ යුතුකම යැයි අප පවසන්නේ එනිසා ය.

ධර්මාශෝක රජු, නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් එය අවබෝධ කර ගත් පරිදි මෙරට පාලකයන් ද එය වටහා ගන්නාතුරු තව තවත් යුද්ධවලට අනාගතයෙහි මුහුණදීමට ඊළඟ පරම්පරාවලට සිදුවනු ඇත. දේශප්‍රේමය හා මානුෂීය මෙහෙයුම් මන්තරය එවිට ද ජප කරනු නිසැක ය. 


අදහස් 2ක් ඇත

කාලෙකින් එක හුස්මට කියවපු මාර පොතක්. මේ රටේ හැම සිංහලයම කියවිය යුතු පොතකි.

kawuruth athmarthakami wuwoya; eya nowalak wiyahakiya!

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...