දැයෙන් සමුගත් ලකඹර සිනමා අඹරේ රිදී සීනුව | දිනමිණ

දැයෙන් සමුගත් ලකඹර සිනමා අඹරේ රිදී සීනුව

හෙළ සිනමාවේ ගීත කෝකිලාවිය මෙන්ම ලකඹර සිනමා අඹරේ රිදී සීනුව ලෙස විරුදාවලිය ලබමින් රසික රසිකාවියන්ගේ හදවත් තුළ වැජඹුණු සම්මානනීය සහ ප්‍රවීණ ගායන ශීල්පිණී ඇන්ජලීන් ගුණතිලක මහත්මිය පසුගිය දා (29) දිවිගමනින් මෙන්ම කලා ලොවින් ද සමුගත්තාය. මේ සටහන ඒ නිමිත්තෙනි.

අපූර්වත්වයෙන් යුතු ගායන විලාසයකට උරුමකම් කියූ ඇයට සංකල්ප රූප මවමින් අසන්නන්ගේ මනෝභාවයන් පුබුදු කිරීමේ නිපුණතාවක් පැවතුණි. ගීතයක් ගායනා කිරීමේ දී එහි ඇති රස භාවයන් උද්දීපනය වන අයුරින් ගායනා කළ ඇය, ඕනෑම ස්වරූපයක වදන් සමූහයක් ආකර්ෂණීය ගීතයක් බවට පරිවර්තනය කිරීම ද එතරම් අපහසු කාර්යයක් නොවීය. රුවින් අග තැන් බොහෝ රංගන ශිල්පිණියන් ස්වකීය ගී රඟ සොබාවන් ඔපවත් කර ගැනීමට ඇයගේ මධුර මනෝහර ගායන විලාසය උපරිම අයුරින් උපයොගී කර ගැනීමත් විශේෂත්වයක්. ගායනා කිරීමට තරමක් ආයාසයක් දැරිය යුතු ගීත නිබන්ධ, එහි අර්ථයටත් රිද්මයටත් කිසිදු ආකාරයකින් හානියක් නොවන පරිදි පහසුවෙන් ගායනා කළ ඇය, එදා රිදී තිරයට නැතිව බැරි ප්‍රමුඛ පෙළේ පසුබිම් ගායිකාවක් වී සිටියාය. සිංහල සිනමාව තුළ ඇන්ජලීන් ගුණතිලක යන නාමය රන් අකුරින් සටහන් කර ගැනීමට තරම් භාග්‍යවන්තියක් වූ ඇය, නිරතුරුවම සිනමාලෝලීන් පිනවමින් එම කලා මාධ්‍ය තුළ විශිෂ්ට සලකුණක් සටහන් කර ගැනීමට ද සමත් වී සිටියා.

ප්‍රවීණ සිනමාවේදියකු වූ සේන සමරසිංහ මහතා අධ්‍යක්ෂණය කළ ‘නිල්ල සොයා’ චිත්‍රපටිය තිර ගත වූයේ වර්ෂ 1976 දී. එනම් මීට දශක හතරකටත් ඉහතදීය. මේ වන විට එම චිත්‍රපටය බොහෝ සිනමාලෝලීන්ට එකවර මතකයට නැඟෙන්නේ නැති වූවත්, එහි අන්තර්ගත වී තිබූ ‘සිටු මැදුරේ හෝ... පුංචි පැලේ හෝ... ඈත භවේ හෝ...මා ඔබ හමු වී තිබුණා...!’ යන ගීතය තවමත් සිනමාලෝලීන්ගේ පමණක් නොව, විද්යුත් මාධ්‍ය පරිහරණය කරන කොයිකාගේත් මතකයෙන් ඈත් නොවී පැවතීම විශේෂත්වයකි. ඇන්ජලීන් ගුණතිලක මහත්මිය විසින් එම ගීතය ඉතාම ලයාන්විතව ගායනා කිරීම නිසා එහි ඇති ජනප්‍රියත්වය අදටත් එලෙසින්ම පවතී. ‘නිල්ල සොයා’ සිනමා සිත්තමෙහිම අන්තර්ගත ‘මියුරු පෙම් මදිරාවේ ...,’ ‘පෙම් පෙම් පෙම් නද පාවේ …’ සහ ‘යෞවන උයනේ පියුම් තටාකේ…’ යන ගීත ද එපරිදිම වර්තමාන ගීතලෝලීන් බොහෝ දෙනකුගේ ආකර්ෂණය හිමි කරගෙන තිබේ. එලෙසින්ම ‘අමර පෙම් ලතාවේ ...’ (චිත්‍රපටිය - සදහටම ඔබ මගේ), මා එදා … දෑතින් සනහා …’ (චිත්‍රපටිය - හිතුවොත් හිතුවාමයි), ‘සිතුම් පැතුම් සඳ ආදරේ ...’ (අභිරහස), ‘පාට පොදක් තිලකලා …’ (කස්තුරි සුවඳ), ‘ගිම්හානේ හද නිවුනා ...’ (සුදු පරෙවියෝ), ‘මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ…’ (හිඟන කොල්ලා), ‘සඳ තනිවෙලා අහසේ ...’ (අපේක්ෂා), ‘සුදුපාට මී දුම් ගලාලා ...’ (එදත් සූරයා අදත් සූරයා) ‘දෝතින් දෝතයි ... ජීවෙන් ජීවෙයි …’ (සුහද පැතුම) යන සිනමා ගීත අදටත් ජනප්‍රියත්වයේ ප්‍රශස්තම ස්ථානයක පැවතීමට ප්‍රධානම සාධකය වී තිබෙන්නේ ඇයගේ සෞන්දර්යාත්මක ගායන විලාසයයි.

සිනමා මාධ්‍ය තුළ පමණක් නොව, ඇය ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍ය තුළ ද ඉතාම ජනප්‍රිය ගායිකාවක් බවට පත් වී සිටියාය. ඒ අයුරින් ඇයගේ ගායන දිවිය ශක්තිමත් කිරීමට ඇයට ලැබුණු ගී පද සංකල්පනා ද බොහෝ සේ ඉවහල් වී තිබුණි. එසේ ඇයගේ ජනප්‍රියතම ගීත බොහෝමයකම ගී පද සංකල්පනා සිරිල් ඒ. සීලවිමල, ඔගස්ටස් විනයාගරත්නම්, සෝමපාල ලීලානන්ද, කරුණාරත්න අබේසේකර, උපාලි ධනවලවිතාන, ධර්මසිරි ගමගේ, ක්ලැරන්ස් විජේවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි අග්‍රගන්‍යය ගීත නිබන්ධකයන් විසින් නිර්මාණය කර තිබුණි.

වර්තමානයේ බොහෝ රියැලිටි වැඩසටහන් මගින් ජනප්‍රියත්වයට පත් වී ගායන තරු බවට පත් වූ ඇතැම් ආධුනික ගායිකාවන්ට ඇන්ජලීන් ගුණතිලක මහත්මිය විසින් ගායනා කළ ගීත පමණක් නොව, ඇයගේ ගායන විලාසය ද බොහෝ සේ ඉවහල් වී තිබිණි. නිදර්ශනයක් ලෙස දුෂ්කර ප්‍රදේශයක සිට පැමිණි අක්ෂා චමුදි සිඟිති දියණිය ස්වකීය ගායන හැකියාවන් මගින් රසික රසිකාවියන් අතරට යෑමේදී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ ගීත මෙන්ම ඇයගේ ගායන විලාසය ද උපකාරී වී තිබේ. මෙහි දී ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ද ස්වකීය නිහතමානීව එම සිඟිති දියණියගේ ගායන හැකියාවන් අගය කරනු ලබුවේ, උතුම් මානව ගුණාංග ප්‍රකට කරමිනි.

ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ස්වකීය ගායන දිවිය ආරම්භ කර තිබෙන්නේ, ප්‍රවීණ ගීත නිබන්ධකයකු මෙන්ම සන්නිවේදනඥයකු වූ නැසීගිය කරුණාරත්න අබේසේකර සූරීන් විසින් මෙහෙය වූ ගුවන් විදුලි ළමා පිටිය වැඩ සටහනෙහි ළමා ගායිකාව ලෙස සහභාගී වීමෙනි. වාර්තා ගත වී ඇති පරිදි ප්‍රථම වරට සිනමා මාධ්‍යයට අවතීර්ණ වෙමින් ගීතයක් ගායනා කරන විට ඇයගේ වයස අවුරුදු දහතුනක් පමණ වී තිබේ. පසුව ඇය තම ගායන හැකියාවෙන් සිංහල සිනමාවේ ගීතය උච්චතම ස්ථානයට රැගෙන ගිය අතර, ඇයගේ කලා දිවිය තුළ ඇය විසින් ගායනා කර ඇති ගීත සංඛ්‍යාව පන්දහස ඉක්මවයි. එලෙසින්ම සම්මාන ගණනාවකට ද හිමිකම් කියූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය වර්ෂ 1997 දී කලාකරුවකුට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන ‘රණ තිසර’ සම්මානය හිමි කර ගැනීමට ද සමත් වේ. ඒ අයුරින් මතු දින දී හෝ මතකයෙන් ඈත් නොවන ගීත සමුදායක් ඉතිරි කර, ගීතලෝලීන් විශාල පිරිසකගේ නෙත් අගෙහි කඳුළක් තබා, කලා ලොවට සුමුදෙන ඇයට මොක් සුව පතමු!

අනුෂාද් වෙදගේ


අදහස් 1ක් ඇත

agamikawa api wiswasa karanawa, silwath gunawath wachana walin prakasa , saha, anunta parisarayata hithakami prakasa karannata mihiri katahadak lebenawa kiya, eyin kenek wu durlaba katahadak thibu aya lakadiwen samu gatthaya!

නව අදහස දක්වන්න