ප්‍රශ්නයට උත්තරය ජනමතය | දිනමිණ

ප්‍රශ්නයට උත්තරය ජනමතය

ඉන්දික පොල්කො­ටුව

අධිකරණය ලබා දුන් නියෝගය වැරැදි අයුරින් අර්ථකථනය කිරීමේ උත්සාහයක් ද අද දක්නට ලැබේ. මැතිවරණය පැවැත්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගය, තීන්දුවක් ලබා දෙන තෙක් ප්‍රමාද කරන ලෙස අධිකරණය පෙන්වා දුන්නා මිස මැතිවරණය පැවැත්වීම වැරැදියි කියා තීන්දුවක් ලබා දී නැත.

ලොව දරුණුතම ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලංකාවට එහි අවසානය සිහිනයක පමණක්ව තිබියදී 2009 මැයි 18 ලොව කුරිරුතම ත්‍රස්තවාදය නිමාකිරීමට සේනාධිනායකයා ලෙස නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ චරිතය කෙරෙහි ලෝකයේම අවධානය යොමුවිය. එහි උණුසුමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා 2010 පැවැති ජනාධිපතිවරණයත් මහා මැතිවරණයත් ජය ගනු ලබන්නේ ඉතා විශිෂ්ඨ අයුරිනි. 1978 ව්‍යවස්ථාවාව හරහා වැඩිම මන්ත්‍රී පිරිසක් එකම දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේද මෙම මැතිවරණයේදීය. ඒ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ය. අනතුරුව පිහිටුවනු ලැබූ සන්ධාන රජය තුනෙන් දෙකක බලයක් ඉක්මවා ශක්තිමත්ම ආණ්ඩුවක් ලෙසින් ක්‍රියාත්මක විය.

එමෙන්ම දෙස් විදෙස් විවිධ බලවේගයන්හි ක්‍රියාත්මකවීම් ඇතුළු විවිධ හේතු නිසා 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන විටත් පාර්ලිමේන්තු බලය තුනෙන් දෙකක බලය හිමිව තිබුණේ සන්ධානයටය. එක්සත් ජාතික පක්ෂයට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණන හතළිස් හයකි. ඒ මොහොතේ ආණ්ඩු මාරුවක් සඳහා මහා මැතිවරණයක් නොතිබුණද ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමත් සමඟ නව අග්‍රාමාත්‍යවරයකු මෙන්ම නව කැබිනට මණ්ඩලයක්ද පත්වූයේ හතළිස් හයක බලයකටය. එය සම්ප්‍රදායට හා සදාචාරයට පයින් ගැසීමක් ලෙස බැලූ බැල්මට පෙනුණි. එසේම ඒ මොහොතේ ජනමතය තිබුණේ ද සන්ධාන ආණ්ඩුවට එරෙහිවය. මේ අනුව එක් අතකින් ජනමතයත් විධායක ජනාධිපති බලයත් යන දෙකම ඉදිරියේ සන්ධාන ආණ්ඩුවේ බලය බිද වැටී අලුත් ආණ්ඩුවක් බිහිවිය. එය යහපාලන ආණුඩුව ලෙස හැදින්වූයේ මෙරට දේශපාලනයටද අලුත් වෙනසක් ඇති කරන බවද පෙන්වා දෙමිනි. පාර්ලිමේන්තුවේ ඔළු හතළිස් හයක් තිබියදී ආණ්ඩුවක් සැකසූ එ.ජා.ප.ය ප්‍රමුඛ කණ්ඩායමට එක් අතකින් දොස් පැවරිය නොහැක්කේ එය ජනමතයේ වෙනස සහ ජනාධිපති බලය ඔස්සේ සැකසුණු ආණ්ඩුවක් නිසාවෙනි.

විවිධ තර්ක විතර්ක එල්ල වුවද 2018 ඔක්තෝබර් ආණ්ඩු වෙනසද එලෙසම සිදු වූ දෙයකි. ඒ සඳහා එදාට වඩා එහා බරපතළ කරණාද බලපෑවේය. දිගින් දිගටම මැතිවරණ කල් තැබීමෙන් පසු පැවැති 2018 මාර්තු පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට එරෙහි විශාල ජනමතයක් තිබෙන බැව් පැහැදිලි විණි. ඒ තුළින් ජනතාව, පාලනයේ වෙනසක අපේක්ෂා කළ බැව් පෙනේ. එක් අතකින් ජනතාව මින් අපේක්ෂා කළේද උනන්දු වූයේද මැතිවරණයක් දිනාගැනීමය. යම් කලක් ගත වුවද පසුගියදා සිදු වූ ආණ්ඩු වෙනස ජනතා අපේක්ෂා ඉටුවීමක් මෙන්ම ජනමතයට යම් ඉඩක් ලැබීමක් ලෙස පෙනේ.

2015 දී මහා මැතිවරණයක් නොමැතිව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයට පත් වූ අයුරින්ම මෙවරද මහා මැතිවරණයක් නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත් විය. එදා ජනාධිපතිවරණය හරහා ලද ප්‍රතිඵල ඔස්සේ නව ජනමතයක් පෙන්නුම් කළ අතර මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල ඔස්සේ නව ජන මතයක් ප්‍රදර්ශනය විණි. ඒ අනූව බැලූ බැල්මට සිදුව ඇත්තේ එකම දෙයක්ය. නමුත් එදාට වඩා දෙගුණයකටත් වැඩි මන්ත්‍රී පිරිසක් මෙවර පත්කළ අගමැතිවරයා වටා සිටිති. ඒ වගේම එදාට වඩා රටෙහි අර්බුද රැසක් ගොඩ ගැසුණු මොහොතකය මේ වෙනස සිදු වූයේ.

විකෘති පාර්ලිමේන්තුව

විකෘති පාර්ලිමේන්තුවක් ලෙසින් මෙය ඇතමුන් හදුන්වාදීමට උත්සාහ දැරුවද 2015 පාර්ලිමේන්තුව මෙයට එහා ගිය විකෘති තත්ත්වයකි. අද පවතින මෙම විකෘතිය එකිනෙකා පාලනය කිරීමට යන බවක් පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදය අගයන කණ්ඩායම් මෙහිදී කළ යුත්තේ මෙය තව දුරටත් ඔඩු දිවීමට ඉඩ නොදී, විධායකය පත් කළ කැබිනට් මණ්ඩලයට සහාය දීමය. එසේ නොහැකි නම් මහා මැතිවරණයකට යා යුතුය. මේ දෙකම නොකර පාර්ලිමේන්තුවේ සිටින සාමාජික ප්‍රමාණය පාවිච්චි කර බලහත්කාරකමක් ජනතාව මත පැටවීමට කුමන හෝ කණ්ඩායමක් ප්‍රයත්න දරන්නේ නම් එය බරපතළ ප්‍රජාතන්ත්‍රවිරෝධී තත්ත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදය සෑම මොහොතකම පෙන්වා දීමට උත්සාහ දරන්නේ ජනතාව කැමති පාලකයන් පිරිසක් විසින් ජනතාව පාලනය කිරීමයි. ජනතාවගේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදීය. එසේ නොමැති ප්‍රජාතන්ත්‍රවාදයක් කොතැනක හෝ නොමැත.

අධිකරණය ලබා දුන් නියෝගය වැරැදි අයුරින් අර්ථකථනය කිරීමට යාමක්ද අද දක්නට ලැබේ. මැතිවරණය පැවැත්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගය, තීන්දුවක් ලබා දෙන තෙක් ප්‍රමාද කරන ලෙස අධිකරණය පෙන්වා දුන්නා මිස මැතිවරණය පැවැත්වීම වැරැදියි කියා තීන්දුවක් ලබා දී නොමැත. පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනාධිපතිවරණයකට යාම නීත්‍යානුකුල යැයි අධිකරණ තීන්දුවක් ලැබුණහොත්, පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ ගනු ලැබූ තීන්දු තීරණ සියල්ල අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇත. එනිසා ගත යුතු වඩාත් වැදගත් ක්‍රියාමාර්ගය වන්නේ අධිකරණ තීන්දුව ලැබෙන තාක් නිහඩව බලා සිටීමය. අධිකරණය කිසිවිටෙකත් ජනතා පරමාධිපත්‍යට එහා තීන්දුවකට එළඹෙන්නේ නැත.

ජනපතිතුමා සර්ව පාක්ෂික සමුළුව හරහා පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගනිමින් පාර්ලිමේන්තුව යහපත් අයුරින් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වුවද පාර්ලිමේන්තුව තුළ එවැනි තත්ත්වයක් තවමත් දක්නට නොමැත. වත්මන් පාර්ලිමේන්තුව මේ වන විට සැම අතින්ම කුරුවල් වී ඇත. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගය ගෙන ආ ආකාරයම නීත්‍යානුකූල නැති බව පැහැදිලිය. අනෙක් අතින් එය සම්මත කිරීම සිදු කළේ සදාචාරයටද මුඵමනින්ම එරෙහි වෙමින්ය.

ගමේ ග්‍රාම සංවර්ධන සමිතියක, මරණාධාර සමිතියක නිලධාරීන් ඉවත් කිරීම පවා මෙයට වඩා සදාචාරව, නීත්‍යානුකූලව සිදුවේ. එවැනි කටයුත්තකදී දින දහ හතරකට පෙර සාමාජිකයන්ට ලිඛිතව දැනුම් දෙන ක්‍රමවේදයක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ එවැනි ක්‍රියාමාර්ගයකට යන්නේ නම්, ඉවත් කිරීමට හේතු සාමාජිකයන්ට දැනුම් දිය යුතුය. ඒ හේතු දැන ගැනීමට සාමාජිකයන්ට අයිතියක් තිබේ. හේතු දැක්වීමකින් හෝ කරුණු දැක්වීමකින් තොරව ගමේ සමිතියක නිලධාරීන් හෝ ඉවත් කිරීමට හැකියාවක් නොමැත. යෝජනාව ඉදිරිපත් කරන සාමාජිකයා ඒ සඳහා වන හේතු යෝජනාවෙන් දැක්විය යුතුය. මේ සඳහා වන ක්‍රමවේද මෙන්ම අතීත අත්දැකීම් අධ්‍යයනය කිරීම වඩාත් යෝග්‍යය.

යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන වාද විවාද අදහස් සඳහා සාමාජිකයන්ට අවස්ථාව ලබා දිය යුතුය. එමෙන්ම එහිදී අදාළ නිලධාරීන්ටද අදහස් සහ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දිය යුතුය. යුක්ති ධර්මතාවය අනුවද චෝදනා එල්ලවන පාර්ශ්වයට කරුණු දැක්වීමට අවස්ථාව සැලසීම ප්‍රජාතන්ත්‍රවාදයයි. එසේ නොමැතිව ඔහු යම් දේශපාලන පක්ෂයක සිටී නම් එම දේශපාලන පක්ෂයට තමන් අකමැති බව පෙන්වා තම දේශපාලන පක්ෂයේ හිතවතුන්ගේම අදහස් මත යමකු ඉවත් කරන්නේ නම් ඒ තුළ යුක්ති ධර්මතාවය, සදාචාරය ඇත්තේ කොතනදැයි බරපතළ ප්‍රශ්නයක් මතුවේ.

ගමේ මරණාධාර සමිතියක නිලධාරියකු ඉවත් කරන්නට පවා සදාචාරාත්මක ක්‍රියාවලියක් තිබියදී රටේ උත්තරීතර ආයතනයෙන් එය අමු අමුවේ උල්ලංඝනය වන්නේ නම් ඉන් රටටත් රටේ ජනතාවටත් ලබා දෙන පණිවුඩය කුමක්ද? රටේ උත්තරීතර ආයතනය රටට ආදර්ශවත් වියුයුතු නොවන්නේද? එලෙස ආදර්ශවත් නොවන්නේ නම් ඉන් පැන නගින ගැටලු, අර්බුද ලෙහෙසියෙන් විසදා ගැනීමද අසීරුවනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය

පාර්ලිමේන්තුව නමැති උත්තරීතර ආයතනයෙන් ජනතාව අපේක්ෂා කෙරෙනුයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයයි. ගමේ මරණාධාර සමිතියකින් එහා ගිය සිය දහස් ගුණයක ආදර්ශයක් ප්‍රජාතන්ත්‍රවාදීත්වයක් ඒ තුළින් අපේක්ෂා කෙරේ. එක දවසක මන්ත්‍රීන් රැස්ව, එක් අයකු යෝජනාවක් ගෙන එමින්, මිනිත්තු කිහිපයකින් අගමැතිවරයා ඉවත් කිරීම ලෝකයේ කිසිදු රටක නොමැති ක්‍රමවේදයකි. ඒකාධිපති රටවල වුවද මෙවැනි තත්ත්වයක් දක්නට නොමැත. මෙවැනි ක්‍රියා අවිචාරවත්ය. මින් සිදු වන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව කෙලෙසී යාමය. පාර්ලිමේන්තුවට යම් දැනුම් දීමකින් තොරව මෙවැනි යෝජනා ගෙන එමින් එකම දිනයක මිනිත්තු කිහිපයකින් ක්‍රියාවලියම අවසන් වන විට එදින රැස්වීමට සහභාගි නොවන, සහභාගි වීමට යම් හැකියාවක් නොමැති මන්ත්‍රීවරුන්ට සිදුවන්නේ බරපතළ අසාධාරණයක් බැව් එම ක්‍රියාවලිය සිදු කරන්නා වූ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම තේරුම් නොගැනීම බරපතළ ඛේදවාචකයකි. එමෙන්ම බරපතළ අර්බුදයකට අත වැනීමකි. මෙවැනි තත්ත්වයන්හිදී කථානායකවරයාගේ ක්‍රියාකලාපය ප්‍රබල අයුරින් බලපානු ලැබේ. පාර්ලිමේන්තුවේ ස්වාධීන පුද්ගලයකු වන කථානායකවරයා කුමන පක්ෂයක සාමාජිකයකු, නායකයකු, තනතුරු දරන්නකු වුවද ඒ කිසිවක් තනතුරට වලංගු නොකරගත යුතුය.

වලංගුවන්නේ ස්වාධීනව පාර්ලිමේන්තුව මෙහෙයවමින් එහි ගෞරවය ආරක්ෂා කිරීම පමණි.

රටක් ඉදිරියට පවත්වාගෙන යාමේදී රාජ්‍ය තන්ත්‍රයට ක්‍රියාත්මක වීම උදෙසා ව්‍යවස්ථාවක් පවතින අතර ලොව බොහෝ රටවල් විවිධ අයුරින් එය පවත්වගෙන යනු ලැබේ. එක් රටක ලිඛිතව පවත්වාගෙන යනු ලබන ව්‍යවස්ථාව ඇතැම් රටක් අලිඛිතව පවත්වගෙන යයි. ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සදහා ස්ථාවර නියෝගද පවතින අතර යහපත් ක්‍රමවේදයක් පාර්ලිමේන්තුව තුළ පවත්වගෙන යාමට මෙම නියෝග නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුය. ඒ තුළින් පාර්ලිමේන්තුව ස්ථාවරව පවත්වගෙන යාමට අපේක්ෂා කෙරෙනු ඇත. ස්ථාවර නියෝග අත් හිටුවා යම් යම් ක්‍රියාමාර්ගයන්ට එළඹීමේ හැකියාව පවතින අවස්ථාද ඒ තුළ පෙන්වා දෙයි. හදිසි අවස්ථාවන්හිදී එය කළ හැකි හැකිය. රටේ මුදල් මහ දවල් මංකොල්ල කෑ අවස්ථාවන්හි රටට මහ විපත් සිදු කළ අය සම්බන්ධයෙන් ගෙන ආ විශ්වාසභංග යෝජනා මාස ගණන් විවාදයට විවාදයට නොගත් පසුබිමක අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙනවිත් මිනිත්තු කිහිපයකින් සම්මත කෙරේ නම් එය කොතරම් අවිචාරවත් තත්ත්වයක්ද?

මෙතෙක් විවාදයට නොගැනුණ විශ්වාසභංග පාර්ලිමේන්තුවේ හමස් පෙට්ටියේ තිබියදී මෙය හදිසියේ ගෙන ඒම තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබෙන බැව් පැහැදිලිව පෙන්නුම් කෙරේ. න්‍යාය පත්‍රය සැඟවුවද ඒ තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙළ මනාව පැහැදිලිව එළියට විත් ඇත. දේශීය න්‍යාය පත්‍රය ඉක්ම වූ විදෙස් න්‍යාය පත්‍රයක් මේ තුළ පවතින බව අවබෝධ වනු ඇත. රට විකුණනු ලැබු සිද්ධීන් වෙනුවෙන් ගෙන එනු ලැබු විශ්වාසභංග විසි කර දමා මෙවැනි විශ්වාසභංගයක් ගෙන ඒමේ අරමුණ ලඝු කොට සැලකිය නොහැක. මෙම විශ්වාස භංගය ගෙන එනු ලැබුවේ මහින්ද රාජපක්ෂ නමැති දේශපාලන චරිතයට නොවේ.

ඒ පිළිබඳ විමසා බැලීමේදී 2009 මැයි 18ට පෙර යුගයට යා යුතුය. මෙරට තිස් වසරක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය ලොව දරුණුතම ත්‍රස්තවාදයකි. ලොව ම්ලේච්ඡතම මෙන්ම බිහිසුණුතම ත්‍රස්තවාදියකු සැගවී ක්‍රියාත්මක කළ අමානුෂික ක්‍රියාවලිය මුඵමනින්ම අවසන් කළ රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ චරිතය මෙරට ඉතිහාසයකට එක්ව ඇත. රටට ඔහු වීරයකු වුවද ලොව බොහෝ රටවල න්‍යාය පත්‍රයේ ඔහුට ඉඩක් නොමැත්තේ විදෙස් න්‍යය පත්‍ර හමුවෙහි කොන්ද නොනැමූ නිසාවෙනි. විදෙස් බලපෑම් හමුවෙහි රූකඩයක් නොවු නිසාවෙනි. ඒ නිසා ඉකුත්දා පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංගය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට ගෙන ආ විශ්වාසභංගය තුළ සැගවුණු න්‍යාය පත්‍රය පැහැදිළිව රට අවබෝධ කරගත යුතුය. මේ න්‍යාය පත්‍රය මහින්ද රාජපක්ෂ චරිතය ඉස්මතු වන සෑම අවස්ථාවකම ඉස්මතු වේ. ඒ සඳහා වන බලවේග එකදු රාමුවක න්‍යාය පත්‍ර විවිධ අයුරින් සකස් කැර ගෙන ඇත.

ජනතා පරමාධිපත්‍යය

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ගත් කල ඒ සියල්ල පවතින්නේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම වෙනුවෙනි. රටෙහි ව්‍යවස්ථාව ඒ සඳහා වන උපකරණයක් සේ ගත හැකිය. උදාහරණයක් ලෙස මාර්ග නීති සංග්‍රහය මාර්ගයේ යන එන අයට ව්‍යවස්ථාවක් වැනිය. එය පවතින්නේම මාර්ගයේ යන එන අයගේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙනි. එම නීති ඔස්සේ පෙන්වා දෙන එක් කරුණක් වන්නේ මාර්ගය මධ්‍යයේ වාහනයක් නවතා ඉන් බැසීම වරදක් බවය. එහෙත් එක්වරම වාහනය යන විට මාර්ගය මත වැටෙන පුද්ගලයකු දුටුවිට මාර්ගය අයිනෙහි නැවතුම් ස්ථාන සොයමින් සිටිය නොහැකිය. හැකි ඉක්මනින් වැටුණු අයට පිහිට විය යුතුය. එතැනදී මාර්ග නීති උල්ලංඝණය කිරීමට සිදු වේ. නමුත් එය උල්ලංඝණය කිරීමට සිදු වන්නේ යහපත් අරමුණක් වෙනුවෙනි. ඒ ආකාරයට ජනතා පරමාධිපත්‍යට තර්ජනයක් එන මොහොතක කුමන නීති ආරක්ෂා කළද ක්‍රියාත්මක කළද ඵලක් නොවේ. ව්‍යවස්ථාව සකසා ඇත්තේ ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමටය. ජනතා පරමාධිපත්‍යට ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවක ව්‍යවස්ථාව පාවිච්චි කර එය නවතාලීමට කටයුතු යෙදිය යුතුය.

රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයට ලක්වූ විට කළ හැකි හොඳම ක්‍රියාව වන්නේ ජනතා පරමාධිපත්‍යට ඉඩ විවර කර දීමයි. ඒ සඳහා මහජන මතයට ඉඩ සැකසිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මැතිවරණ පැවැත්වීම යනු ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. යම් රාජ්‍යයක මැතිවරණ නොපවත්වන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රහාර එල්ල කිරීමක්ය; ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ ඝාතනය කිරීමක්ය. මෙවැනි අවස්ථාවන්හි ඇතැම් රටවල් මහ මඟට බැස උද්ඝෝෂණ, විරෝධතා කළද මැතිවරණ පවැත්වීම නතර කරන ලෙස කිසිදු රටක් ක්‍රියාමාර්ගයන්ට එළඹෙන්නේ නැත. පාර්ලිමේන්තුවේ අර්බුද පැන නැගුණු විට ජනතා පරමාධිපත්‍ය කොතැනක හෝ නියෝජනය නොවේ. සෑම තැනම දක්නට ඇත්තේ ගැටලුකාරී තත්ත්වයකි. මේ ගැටලුවලට පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි දෙසිය විසි පහෙන් තීරණ ගැනීම වෙනුවට ගැටලුව සමස්ත පරමාධිපත්‍ය නියෝජනය කරන්නා වු ජනතාවට භාර කළ යුතු වේ.


අදහස් 1ක් ඇත

let us solved the problem threw the public election

පිටු

නව අදහස දක්වන්න