වාර්තාවේ යෝජනා ආණ්ඩුව පැහැදිලි කළා - අගමැති | දිනමිණ

වාර්තාවේ යෝජනා ආණ්ඩුව පැහැදිලි කළා - අගමැති

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව මාර්තු මස සභාගත කිරීමට නියමිතව තිබූ අතර එය සැප්තැම්බර් දක්වා කල්තබා ගැනීමට හැකිවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

“එම යෝජනාව පසුගිය 15 දා ඉදිරිපත් කිරීමෙන් පසු ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළා.

විදේශ ඇමැතිවරයාත් අධිකරණ ඇමැතිවරයාත් ඒ වාර්තාවේ ස්වභාවය පැහැදිලි කළා. මානව හිමිකම් කොමසාරිස් යෝජනා කර ඇත්තේ මිශ්‍ර අධිකරණයකින් එම වාර්තාවේ කරුණු සොයා බලන ලෙසයි.”

අගමැතිවරයා ඒ බව පැවසුවේ ජනාධිපති මැදුරේ ඊයේ (18දා) සවස ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් පුවත්පත් කතුවරුන් සමඟ පැවැති මාධ්‍ය හමුවේදීය.

2009 මැයි මාසයේ 23 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ එවකට සිටි නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක මහතා එකඟ වී තිබුණේ අන්තර්ජාතික අධිකරණයක් මගින් මානව හිමිකම් කඩවූවාදැයි ජාත්‍යන්තරය බලා සිටියේ ඒ හරහා සොයා බැලීමටයි. පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා හමුදාවේ ප්‍රධානීන් තම රටවලට පැමිණීම වළක්වන්නයි.

එසේම වෙනත් සම්බාධක පනවන්නයි. එසේම ඒ වාර්තාවල චුදිතයන් ලෙස නම් දෙතුන් සියයක් ඇතුළත්ව තිබුණා. පසුගියදා එනම් 15 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවෙන් යෝජනා කරන්නේ අන්තර්ජාතික විනිසුරුවන් සමඟ දේශීය මිශ්‍ර අධිකරණයක් හමුවේ චෝදනා සොයා බැලීමටයි.

එය වත්මන් ජනාධිපතිතුමා ප්‍රධාන අපේ රජය ලබාගත් ජයග්‍රහණයක් නොවේද? යැයි අගමැතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දැක්විය. “ පසුගිය කාල පරිච්ඡේදයේදී මෙරට අධිකරණය නීති ක්‍රියාවට නැංවීම පිළිබඳ අතිවූ ගැටලුකාරී තත්ත්වය නිසා වඩාත් ඵලදායි ක්‍රියා පිළිවෙතක් මේ යෝජනාව හරහා ඉදිරිපත් වී තිබෙනවා.

දිවංගත බණ්ඩාරනායක අගමැති තුමාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණවලට විදේශීය විනිසුරුවන් දෙදෙනකු සමඟ ශ්‍රී ලංකාවෙන් පෙනී සිටියේ එක් විනිසුරුවරයකු පමණයි.

එසේම ෆිජී දූපත්, සී ෂෙල්ස් දූපත්හි අධිකරණ කටයුතුවල නියැළෙන්නේ ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් බවද අගමැති තුමා පැහැදිලි කළේය.

ඒ නිසා ප්‍රශ්න විසැඳීමට ඉඩනොදී එය තව තවත් අවුල් නොකර වත්මන් රජය සමඟ එක්ව වැඩ කිරීම වඩාත් යෝග්‍ය වන බවද අගමැතිතුමා පෙන්වා දුන්නේය.

අන්තර්ජාතික පරීක්ෂණ ඉල්ලා නැති, චුදිතයන් ලෙස කිසිවකු නම් කර නැති, මේ වාර්තාව ශ්‍රී ලංකාව ලත් ජයග්‍රහණයක් බවද අවශ්‍යව ඇත්තේ මේ මස අගදී එම වාර්තාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත රටවල සහාය ශ්‍රී ලංකාව වෙත යොමු කැර ගැනීම බවත් යළිත් මෙවැනි වාර්තාවක් එ.ජා. මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් නොවන තැනට රට මෙහෙයවීම බවත් අගමැති තුමා අවධාරණය කළේය.


නව අදහස දක්වන්න