ප්‍රහාරය - වින්දිතයා හා යුක්තිය ! | දිනමිණ

ප්‍රහාරය - වින්දිතයා හා යුක්තිය !

පාස්කු ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගෙවී ඇත. මීට මාස විසිහතරකට පෙර අද වැනි දිනෙක උදෑසන එම ම්ලේච්ඡ ප්‍රහාරය සිදු විය. අදටත් එහි උණුසුම මැකී ගොස් නැත. ඊට බලපාන ප්‍රධාන සාධක දෙකක් ඇති බව අපගේ පිළිගැනීම වෙයි. පළමු සාධකය වන්නේ මෙකී සිද්ධිය දේශපාලන වශයෙන් පාවිච්චි කිරීමය. දෙවන සාධකය වන්නේ ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට දඬුවම් දීමේ ප්‍රමාදයක් ඇතැ'යි විශ්වාසයක් තිබීමය. පුදුමයකට මෙන් ප්‍රහාරය සිදු වූ කාලයේ රාජ්‍ය පාලනය හා ජාතික ආරක්ෂාව භාරව ක්‍රියා කළ අය ද සිද්ධිය විවේචනය කරති. සමාජය මේ සම්බන්ධයෙන් විවිධ සංවාද ඇති කරන අතර, ඒ ඔස්සේ සිද්ධිය තවදුරටත් උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ වන විට ප්‍රහාරය පිළිබඳ පැතිකඩ කිහිපයකින් විමර්ශන අවසන් කර ඇත. ඉතිරිව ඇත්තේ නඩු පවරා අපරාධකරුවන්ට දඬුවම් දීම පමණි.

පාස්කු ප්‍රහාරයට අදාළව මූලික වශයෙන් වටහාගත යුතු කරුණු කිහිපයක් තිබේ. එය පළමුව සටහන් කර තැබීම වටී. ඉන් එක කාරණයක් වන්නේ ප්‍රහාරය සිදුවීමට හා අන්තවාදීන්ගේ නැඟී සිටීමට පදනම වැටුණේ ජාතික ආරක්ෂාව දුර්වල වීම හා බුද්ධි සේවා අඩපණ වීම යන සාධක නිසා බවය. ඉන් අර්ථවත් වන්නේ එදා සිටි පාලකයන්ට හා ආරක්ෂක ප්‍රධානීන්ට මේ වගකීමෙන් පැන යා නොහැකි බවය. තව කාරණයක් වන්නේ එදා බලයේ සිටි යහපාලන ආණ්ඩුව ප්‍රහාරය සම්බන්ධයෙන් විශ්වාස කටයුතු විධිමත් පරීක්ෂණයක් කිරීමට අපොහොසත් වූ බව හා ඒ නිසාම වින්දිතයන්ට යුක්තිය ඉටුවීම ප්‍රමාද වූ බවය. තවත් කාරණයක් වන්නේ සිද්ධියේ ප්‍රධාන වින්දිත පාර්ශ්වය වූ කතෝලික ප්‍රජාව මේ සම්බන්ධයෙන් දක්වන උණුසුම් ප්‍රතිචාර නොසලකා හැරිය නොහැකි බවය.

ප්‍රහාරය නිසා පන්සියයකට ආසන්න බැතිමත්හු පිරිසක් මිය ගියහ. තවත් සැලැකිය යුතු පිරිසක් බරපතළ තුවාල ලදහ. එයින් ඇතැම්හු සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව සිටිති. දරුවන්ට මාපියන් අහිමිවීම වේදනාවකි. මාපියන්ට දරුවන් අහිමිවීම ද වේදනාවකි. සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වීම ඊටත් වඩා වේදනාවකි. එහෙත් ඔවුන් ජීවිතයට මුහුණ දිය යුතුය. ප්‍රහාරය සිදුවූයේ කතෝලික ප්‍රජාව ආගමික වශයෙන් ඉතා වැදගත් දේව මෙහෙයක යෙදෙමින් සිටි අවස්ථාවකය. එම වේදනාව ද වින්දිතයන් තුළ පවතී. මේ සියල්ල ගත් කල ක‍තෝලික ප්‍රජාවගේ විරෝධය හා වේදනාව යුක්ති සහගත එකක් බව අවධාරණය කළ යුතුව තිබේ. තමන්ගේ මවුබිම තුළ ආගම නිදහසේ ඇදහීමට අවස්ථාව තිබිය යුතුය.

ආගමික අන්තවාදයට හා ආගමික ත්‍රස්තවාදයට සැලැකිය යුතු ඉතිහාසයක් තිබේ. ආගම් ගණනාවක් ඔස්සේ අන්තවාදය හා ත්‍රස්තවාදය බිහිවී ක්‍රියාත්මක වී ඇත. එහි දුෂ්ටම අවස්ථාවක් වන්නේ අන්‍යාගමිකයන් ඝාතනය කිරීමය. රාජ්‍යයන් ගණනාවක ආගමික අන්තවාදය පැවැතිය ද එය ශ්‍රී ලංකාව තුළ පැළපදියම් වූයේ නැත. එහෙත් 2015න් පසු රටේ ආගමික අන්තවාදයක් හා ත්‍රස්තවාදයක් ‍මෝරා වැඩී ඇති අන්දම පරීක්ෂණවලින් තහවුරු වී ඇත. අන්තවාදයට අදාළ සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබුණ ද, රජය හෝ ආරක්ෂක අංශ හෝ ඒවා නිරීක්ෂණය කොට වැළැක්වීමට අදාළ පියවර ගෙන නැත. අවසන් අවස්ථාවේ වුව ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණ ද එදා පාලකයන්ගේ දුර්වලතා නිසා එය මඟහැරී ගිය බව පෙනී යන කාරණයකි.

වත්මන් ජනාධිපතිවරයා හෝ වත්මන් රජය හෝ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබිය යුතු පාර්ශ්වයක් නොවේ. එහෙත් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් වන වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය භාරගත යුතුය. ජනාධිපතිවරයා මුල සිටම කියා සිටියේ අපරාධකරුවන්ට හා අපරාධයට උපකාර දැක්වූ කිසිදු තැනැත්තකුට ද නීතියෙන් ගැලවීමට ඉඩක් නොතබන බවය. ප්‍රහාරය පිළිබඳ කරුණු ගවේෂණය කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිලධාරීන් ගැන පවා ජනාධිපතිවරයා කාදිනල් හිමිපාණන්ගෙන් විමසා ඇත. ඊට හේතුව විශ්වාසවන්ත පරීක්ෂණයක් පැවැත්වීමය. ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවිධ මත පැවැතිය ද කතෝලික සභාව එම වාර්තාව පිළිගත්තේය. ප්‍රධාන වින්දිත පාර්ශ්වය එය පිළිගැනීම යහපත් තත්ත්වයකි.

ප්‍රහාරය සම්බන්ධයෙන් සලකා බලන විට ආණ්ඩුවේ වගකීම ප්‍රධාන කොටස් දෙකකට බෙදා විවරණය කළ හැකිය. පළමු කොටස වන්නේ අනාගතයේ මෙබඳු ප්‍රහාරයන් සිදුවීම වළක්වා ගැනීමය. ඒ සඳහා ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුය. එලෙසම යහපාලන ආණ්ඩු සමයේ දුර්වල වූ බුද්ධි සේවා යළි තහවුරු කොට පුළුල් කළ යුතුය. ආණ්ඩුව මේ වන විටත් එය ඉටුකර ඇති බව දැකගත හැකිය. ඊළඟ කාරණය වන්නේ ආගමික අන්තවාදයට පුංචි හෝ ඉඩක් නොතැබීමය. ආණ්ඩුවේ වගකීමේ දෙවන කොටස වන්නේ ප්‍රහාරය සම්බන්ධ අපරාධකරුවන්ට නොපමාව දඬුවම් දීමය. අපරාධකරුවන් හඳුනාගෙන ඇතත්; නීති කටයුතුවල ප්‍රමාදයක් තිබේ. එය වහාම නිවැරැදි කර ගත යුතුය.

අමෙරිකාවේ නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ලෝක ඉතිහාසයේ අතිශය සූක්ෂ්ම හා භයානක ප්‍රහාරයක් ලෙස සලකනු ලැබේ. ප්‍රහාරය පසුපස සිටියෝ ආගමික අන්තවාදියෝය. අමෙරිකානු රජය එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට ද, අපරාධකාරයන්ට දඬුවම් ලබාදීමට ද සැලැකිය යුතු කාලයක් ගත්තේය. ප්‍රහාරය සිදු වු වහාම අමෙරිකන් රජය සිදු කළේ ජාතික ආරක්ෂාව තරකිරීම හා බුද්ධි සේවා තවදුරටත් පුළුල් කිරීමය. අමෙරිකානු ආරක්ෂක අංශ ඉවසිල්ලෙන් සිය රාජකාරි කරගෙන ගිය අතර, එක්තරා දිනෙක ප්‍රහාරයේ මහ මොළකරුට ඉලක්කය ගත්තේය. එය හරියට ම හරිය. අවසානයේ මහ මොළකරුගේ සිරුර පවා සොයාගත නොහැකි විය. ත්‍රස්තවාදීන්ට හා අන්තවාදීන්ට එබඳු පාඩම් ඉගැන්විය හැක්කේ ඉවසිල්ලෙන් කටයුතු කළහොත් පමණි.

ප්‍රහාරයට ගොදුරු වූ වින්දිතයන් සමඟ එකට පෙළ ගැසෙමින් දුක බෙදා ගැනීම අප සියල්ලන්ගේ යුතුකම වෙයි. නීතියට අදාළ කරුණු රජය සිදු කරනු ඇත. ඊට ඇඟිලි ගැසීම සේම බාධා කිරීම ද නොකළ යුත්තකි.

නව අදහස දක්වන්න