යහපාලන ආණ්ඩුව ජාතික පාසල් 278කට විදුහල්පතිවරු පත් කර නෑ - අධ්‍යාපන ඇමැති | දිනමිණ

යහපාලන ආණ්ඩුව ජාතික පාසල් 278කට විදුහල්පතිවරු පත් කර නෑ - අධ්‍යාපන ඇමැති

පසුගිය යහපාලන ආණ්ඩුව ගතවූ වසර පහක කාලය තුළ ජාතික පාසල් 278ක් සඳහා විදුහල්පතිවරුන් පත් නොකළ බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.  කෙසේ වුවද වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ජාතික පාසල් 108ක් සඳහා විදුහල්පතිවරු පත් කළ අතර, ඉතිරි 170 සඳහා විදුහල්පතිවරු පත් කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇති බවද එම අයදුම් පත්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ විනිවිදභාවයෙන් යුතුව සිදු කරන අතර, මීට අදාළ සියලු තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි අන්තර්ගත බව ද ඒ මහතා කීවේය.

සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ දැඩිව අවධානය යොමු කරමින් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා ලබන 23 වැනිදා (සඳුදා) පාසල් විවෘත කිරීමට ආණ්ඩුව තීරණය කළ බවද ඒ මහතා පැවසීය.

පාසල් විවෘත කිරීමට ගත් මේ තීරණය හිතුවක්කාරී හෝ අත්තනෝමතික වූවක් නොවන බවත් පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය හා අනාගතය සුරක්ෂිත කිරීමේ යහපත් අරමුණින් ගත් තුලනාත්මක තීන්දුවක් බවත් ඇමැතිවරයා පැවසීය.

23වැනි සඳුදා පාසල් විවෘත කිරීමට තීන්දු කිරීමට පෙර මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ බලධාරීන්, සෞඛ්‍ය අංශ බලධාරීන් ඇතුළු සියලු දෙනා සමඟ සාකච්ඡා කළ බවත් එම බලධාරීන්ගේ උපදෙස් අනුව බස්නාහිර පළාත හා හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පිහිටි පාසල් විවෘත කිරීමට තීරණය කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

 

 

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න