දේශීය ව්‍යවසායකයන් නිර්මාණය කිරීමේ නව වැඩපිළිවෙළක් මෙවර අය වැයෙන් ක්‍රියාත්මක කරනවා -තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ | දිනමිණ

දේශීය ව්‍යවසායකයන් නිර්මාණය කිරීමේ නව වැඩපිළිවෙළක් මෙවර අය වැයෙන් ක්‍රියාත්මක කරනවා -තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ

අපි නිෂ්පාදන ආර්ථිකයක් කෙරෙහි  අවධානය  යොමුකර තිබෙනවා

රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර

 අාපදා  කළමනාකරණයට අප මුදල් වෙන් කළා

ඇමැති වාසුදේව නානායක්කාර

මහජන  අධිකරණය  ඉදිරියේ  මේ අය වැයත්  ප්‍රතිපත්ති  ප්‍රකාශනයත් පුස්සක් බවට පත් වෙලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ධීවර සංස්ථාව  ලක්ෂ 800 ක  මාළු මිල දී  ගත්තා

 රාජ්‍ය  ඇමැති  කංචන  විජේසේකර

 

දේශීය ව්‍යවසායකයන් නිර්මාණය කිරීමේ නව වැඩපිළිවෙළක් මෙවර අය වැය මගින් ක්‍රියාත්මක කරන බවත් ඒ තුළින් ආර්ථිකය ශක්තිමත් කරන බවත් තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝකයේ අනෙක් රටවල් සමඟ සසඳන කල 4%ක් පමණ වන මෙරට ව්‍යවසායක ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන් බව පෙන්වා දුන් ඇමැතිවරයා, ඒ අනුව මෙවර අය වැය ලේඛනයේ ඒ සඳහා වැඩි අවධානය යොමු කළ බව අය වැය දෙවැනිවර කියවීමේ තෙැවනි දින විවාදයට එක්වෙමින් සඳහන් කෙළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව ටයර් කර්මාන්ත ශාලාවක් ඇරඹීමට පළමු ආයෝජනය ලෙස ඩොලර් මිලියන 300ක් ආයෝජනයක් සිදු කළ බවත්, පෝට් සිටියේ තවත් ඩොලර් බිලියන 100ක ආයෝජනයක් පිළිබඳ මේ වන විටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් ඒ ණය නොව ආයෝජනයන් බවද ඇමැතිවරයා පෙනවා දුන්නේය.

මෙම ටයර් කර්මාන්ත ශාලාව සමඟ සෘජු සහ වක්‍ර රැකියා 2000 ඉදිරි වසර කිහිපය තුළ මෙරට ඇති වන බව පැවැසූ රාජපක්ෂ මහතා, ඩොලර් මිලියන නවයක් වටිනාකමකින් යුත් ටයර් වසරකට ආනයනය කළ හැකි අතර මෙමගින් විදේශ විනිමය ඩොලර් මිලියන 300ක් බලාපොරොත්තු වන බව කීවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

අමෙරිකාවේ කළු ජාතික නායක මාටින් ලූතර් කිං වරෙක ප්‍රකාශ කරලා තියෙනවා, අවධානයට යොමු විය යුතු කරුණු පිළිබඳ අප නිහඬ වු දිනය අපේ ජීවිත අවසානය ආරම්භ වන දිනයයි කියලා.

ඒ නිසා මේ අය වැයත් මැනවින් සාකච්ඡාවට බඳුන් විය යුතුයි.මුලින්ම අප විමසා බැලිය යුතුයි ජනාධිපතිවරණයෙදිත් මහමැතිවරණයෙදිත් ඉදිරිපත් වුණු රට හදන සෞභාග්‍යයේ දැක්ම තුළ අඩංගු පොරොන්දු කොතෙක් දුරට මේ ප්‍රතිපත්තිවල ක්‍රියාත්මක ද කියලා. දෙවනුව වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි ජනතා ප්‍රශ්නවලට කොතරම් දුරට විසඳුම් ලබා දී තිබෙනවද කියන දේ.තෙවනුව මේ අය වැය ස්ථාවර ශක්තිමත් දර්ශනයක සිට රට හැදීමට ඉදිරියට ක්‍රියාත්මක වෙනවද කියන දේ.

හැට නව ලක්ෂයක් ජනතාව ජනාධිපතිවරණයෙදී ,හැට අට ලක්ෂයක් ජනතාව මහමැතිවරණයෙදී වරමක් ලබා දුන්නා.සමාජ ගිවිසුමක් ඇති වුණා. නමුත් අය වැය දිහා බැලුවම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිළිඹිබු වන එකදු සාධනීය ලක්ෂණයක් නැහැ.එනිසා මහජන අධිකරණය ඉදිරියේ මේ අය වැයත් ප්‍රතිපත්ති ප්‍රකාශනයත් පුස්සක් බවට පත්වෙලා තිබෙනවා.

අද රමේ ඇති පීඩනකාරී අසහනකාරී තත්ත්වය තුළ ජනතාව හුස්ම ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. කෝවිඩ් රෝගීන්ට අවශ්‍ය වෙන්ටිලේටර් ඇඳන් අද නැහැ.

හැබැයි පොහොට්ටුවේ වෙන්ටිලේටරේ නම් හොඳට වැඩ කරනවා.ජනාධිපතිවරණය දින්නා ,මහමැතිවරණය දින්නා. විසිවැනි සංශෝධනය සම්මත කර ගත්තා .ද්විත්ව පුරවැසි අයිතිය තහවුරු කර ගත්තා.දැන් ජනතාව උන්නත් එකයි මළත් එකයි.

මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා-

පෙරේදා පාර්ලිමේන්තු විවාදය යද්දි විකාශනය අතරමඟ නතර වුණා. මාධ්‍ය මෙහි නැති නිසා ඔවුන්ට අවශ්‍ය කතාවල් ලැබිලා නැහැ. වීඩියෝ එක තාම ගිහින් නැහැ. ඒ ඇයි කියල දැන ගන්න පුළුවන්ද ?

නියෝජ්‍ය කථානායකවරයා-

සිග්නල්වල අවුලක් තිබිලා තිබෙනවා. ඒ පිළිබඳ සොයා බලන්නම්.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා-

හර්ෂ කියපු කාරණය සමඟ එකඟ වෙනවා. ඉක්මනින් යථාතත්වයට පත් කරනව කිව්වාට එය වෙලා නැහැ. එම නිසා මාධ්‍ය වෙත කතා ගිහින් නැහැ. අපි පක්ෂ නායකයන්ගේ රැස්වීමේදි තාක්ෂණ ගැන සාකච්ඡා කළා. තාක්ෂණ අංශය දියුණු කරන්න ඕනෑ කියලා. ඒ සඳහා කථානායකවරයා කමිටුවක් පත් කරන්න කටයුතු කරලා තිබෙනවා.

මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා-

මෙතන ටේප් කළා නම් එය මාධ්‍ය වෙත යන්න ඕනෑ. ඒ ටේප් එක නැති වෙලා ද කියල කියන්න.

නියෝජ්‍ය කථානායකවරයා-

ඒ ගැන සොයා බලා කියන්නම්.

මන්ත්‍රී එස් .එම්. මරික්කාර් මහතා-

මේ දේවල් දෙන්නේ නැත්තේ ආණ්ඩුව විවේචනය කරන නිසා ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා-

අපි කිසිම පාලනයක් කරලා නැහැ. මහ ලේකම්වරයාගේ පාලනයේ නැත්නම් ඒ පිළිබඳ වහාම නියෝගයක් දෙන්න. එය කළ යුත්තේ අපි නොවෙයි.

නියෝජ්‍ය කථානායකවරයා-

ඒ පිළිබඳ ඉක්මනින් සොයා බලා අවශ්‍ය කටයුතු කරන්න නියෝග කරනවා.

මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා-

තාක්ෂණය ප්‍රශ්නයක් කියන එක පැහැදිලියි. තිරයේ ප්‍රශ්නයක් තිබෙනවා නම් වීඩියෝ කැමරාවේ පටිගත වෙලා තිබෙන්න ඕනෑ. හැබැයි මම කතා කරන වෙලාවේ එය ප්‍රචාරය වුණා. ඒ ගැන සතුටු වෙනවා.

ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා-

විපක්ෂ නායකවරයා විවිධ අයගේ කියමන් උපුටා දැක්වූවා. එහෙත් ඒ කිසි දෙයක් මෙතෙන්ට ගැළපෙන්නේ නැහැ. අනෙක් කාරණය තමයි කොරෝනා වයිරසය ගැන මෙතන විපක්ෂ නායකවරයා කතා කළා. අපි මුල ඉඳලා එය ඉතා සාර්ථකව සිදු කළා. අද යම් ව්‍යාප්තියක් තිබුණත් එය නිසි පරිදි පාලනය කළ නිසයි මේ තරමින් හරි එය පාලනය කර ගන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ.

මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා-

මෙහාට වැක්සීන් එපා කියලා කියන්න එපා. එංගලන්තයේ වැක්සීන්වලට ප්‍රමුඛත්වය දීලා තිබෙනවා.

ඇමැති වාසුදේව නානායක්කාර මහතා-

මේ ඔබතුමාට ඕනෑ ඕනෑ වේලාවට කතා කරන්න මේක හමුදාව නොවෙයි. හමුදාවට එහෙම කතා කළාට මෙතෙන ඒ දේවල් කතා කරන්න සූදානම් වෙන්න එපා. වෙල්මුලාදෑනියා වාඩි වෙන්න. අපදා කළමනාකරණයට අප මුදල් වෙන් කරලා තිබෙනවා. මෙය අාපදාවක් ලෙස සලකලයි වැඩ කරන්නේ. හමුදාව මෙය පාලනය කරන්න අවශ්‍ය බුද්ධිමය තොරතුරු සැපයුවා. සෞඛ්‍ය අංශ හා හමුදාව එකතු වෙලා මෙය පාලනය කරලා තිබෙනවා. අප සහන දුන්නේ නැහැ කියනවා. එංගලන්තය වගේ සහන දෙන්න ඒ වගේ ආදායම් අපිට නැහැ. ඒ දේ විපක්ෂ නායකවරයාට නොතේරෙන එක ගැන කනගාටුයි. සමහරුන්ට යුරෝපයට ගහන කොට හරියට රිදෙනවා.මේ විපක්ෂයට වෙලා තිබෙන්නෙත් ඒ දේමයි.

මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා-

අපිට යුරෝපය ගැන ප්‍රශ්නයක් නොවෙයි. යතුරු පැදි ගෙන්වන්න ඉඩ නොදෙන එකයි ප්‍රශ්නය.

ඇමැති වාසුදේව නානායක්කාර මහතා-

ඕක රීති ප්‍රශ්නයක් නොවෙයි. මුලින් රීති ප්‍රශ්න හඳුනා ගන්න. අපි දන්නවා නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. අපේ දර්ශනය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ දර්ශනයයි. අපි ධනපතියන්ට බදු සහන දුන්නා කියලා කියනවා. ඔව් අපි වැටිලා තිබුණු ව්‍යාපාර නැවත ගොඩගන්නයි බදු සහන දුන්නේ. එහෙම නොවුණ නම් අදටත් එම ව්‍යාපාර නැහැ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනට පැමිණියේය.

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍ය රාසමාණික මහතා.(දෙ.ජා.ස)-

ජනාධිපතිවරයා කිව්වා විදේශිකයන්ට අවශ්‍ය පරිදි තීන්දු තීරණ ගන්නේ නැහැ කියලා. එහෙම නොවුණත් අපි විදේශිකයන් එකතු කරගෙන අපේ රටේ ව්‍යාපෘති, ආයෝජන සිදු කළ යුතුයි. චාමර සම්පත් මන්ත්‍රීවරයා කිව්වා අසූ ගණන්වල ප්‍රශ්න නිසා උගතුන් බුද්ධිමතුන් මේ රට හැර ගියා කියලා. මම එතුමන් කියපු දේ ගැන සතුටු වෙනවා. මොකද එලෙස ගිය අය තමයි අද වන විට ලෝකයේ බොහෝ ඉහළ තැන්වල ඉන්නේ. එම නිසා ඔවුන් ගෙන්වාගන්න කටයුතු කරන්න ඕනෑ.

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා-

අගමැතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ අය වැය ගැන විශ්ලේෂණය කළ යුත්තේ පවතින පසුබිම හඳුනාගෙනයි. මේ වසර තුළ ලෝක ආර්ථිකය පෙන්වන්නේ සෘණ අගයක්. ඔවුන් රටින් රටටත් ආර්ථික වර්ධන වේගය පෙන්වා දී තිබෙනවා. පසුගිය වසරේ ඉන්දියාව ආර්ථික වර්ධනය සියයට අටක්. මෙවර එය සෘණ අගයක් අරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවටත් එම අභියෝගයට මුහුණ දෙන්න සිදු වෙනවා. කොරෝනා අර්බුදයේදී පවා ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්නේ විපක්ෂය වන්දනාමාන කරන යුරෝපා අරමුදලයි. යහපාලනයේ වසර පහේදීම ඒක පුද්ගල ආදායම වර්ධනය වුණේ සියයට තිස් තුනකින් පමණයි.

මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා-

මට මේ අය වැය කතාව අහනකොට මතක් වුණේ ගමේ කතාවක් තිබුණා පිට නැහැ පිට නැහැ කිය කියා ෂර්ට් විකුණපු කෙනාගේ කතාව. අන්න ඒ වගේ තමයි මේ අය වැයත්. අය වැයක් කියන්නේ ඉදිරි වසරවල ආදායම් වියදම් සිදු කර ගන්නා අකාරය වගේම ජනතාවට ලබාදෙන සහනයන් ගැනයි. මේ අය වැයෙන් එහෙම කිසි දෙයක් නැහැ. ඒ නිසා අවුරුද්දකට පස්සේ ජනතාව මේ ආණ්ඩුවට අසමත් කියන්න පටන් ගෙන තිබෙනවා.

ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා-

ඔබතුමන්ලගේ ආණ්ඩුව තමයි ගොවියන්ගේ සහනාධාරය කැපුවේ. වී ගොවියට හෙක්ටයාර් දෙකක් වෙනුවෙන් සියයට සියයක් නොමිලේ පොහොර ලබා දෙනවා. අනෙක් ගොවීන්ටත් ක්‍රමානුකූලව එම සහනාධාර ලබාදෙනවා.

මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහත-.

මම කිව්වේ මේ පොතේ තිබෙන දේ. එම නිසා කෘෂිකර්ම ඇමැතිවරයා කියන දේ මම විශ්වාස කරන්නම්.

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා-

මේ විපක්ෂය පසුගිය දින කිහිපයේ කොරෝනා මර්දනය ගැන කතා කළා. ලෝකයටම මේ දේ පාලනය කර ගන්න බැරි වෙන කොට හමුදාව, සෞඛ්‍ය අංශ සහ අනෙක් නිලධාරීන් එකතු වෙලා මෙය සාර්ථකව පාලනය කළා. දෙවැනි රැල්ලත් ඒ විදියට පාලනය කරමින් යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයවත් පිළිගත්ත නැති වැක්සීන් එකක් ගැන විපක්ෂය කතා කරනවා. අපේ විපක්ෂය කියන්නේ ඒ වැක්සීන් එක පරික්ෂා කරන්න අපේ ජනතාව බිල්ලට දෙන්නද කියන්නේ. අපි ඊට සූදානම් නැහැ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය එය දෙන්න සුදුසුයි කියන දවසට එය අපේ ජනතාවට දෙන්න අපි සූදානම්.පසුගිය යහපාලන ආණ්ඩුව අපේ ආර්ථිකය නැත්තටම නැති කළා. පසුගිය අවුරුදු පහට එක ආයෝජනයක් කළේ නැහැ. ටික මොහොතකට පාස්කු ප්‍රහාර අමතක කරමු, බැංකු හොරකම අමතක කරමු. එහෙත් අද ණය ගැන කතා කරනවා.

මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා.

රැකව, මාවැල්ල වරායන් ආරම්භ කළේ මම.අනෙක මම මාළු අමුවෙන් කාලා ඒ ධීවරයන් දිරිමත් කිරීමයි කළේ.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා-

අපි එම ධීවර වරායන්ට මුල්ගල තියන්න ඔබතුමන්ට ආරාධනා කරනවා. අපි ව්‍යවසායකයන් නිර්මාණය කරන්න පියවර ගන්නවා.

මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා (ස.ජ.බ)-

මොන තරම් සංඛ්‍යා ලේඛන පෙන්නුවත් වැඩක් නැහැ .ඉන් ජනතාවට සෙතක් වෙලා නැත්නම්.

රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා-

ධීවර සංස්ථාව වශයෙන් ලක්ෂ 800 ක මාළු මිල දී අරන් තිබෙනවා. කවුරු හරි ඉන්නව නම් අපිට එම මාළු දෙන්න අපි ගන්න සූදානම්. එහෙම නැතුව අතර මැදියන්ගෙන් ගන්න සූදානම් නැහැ. මත්ස්‍ය තොග මිල දී ගන්නේ නැති එකයි. මිනිස්සු කන්නේ නැති එකයි දෙකක්. ඒ කාරණා දෙක පටලවා ගන්න එපා.

මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා-

මාළු ගන්නව නම් ඇයි මේ තරම් මිල පහළ ගිහින් තිබෙන්නේ. අනෙක් කාරණය විදේශ ශ්‍රමිකයන් බලාගන්න කිසි කෙනෙක් නැහැ. ඔවුන් ගැන කතා කරන්න කිසි කෙනෙක් නැහැ. ආනයනය තහනම් කරලා රුපියල ස්ථාවරයේ තියා ගන්නවා කියනවා. සාමාන්‍ය ජනතාව භාවිතා කරන බයික් එක පවා අද ගෙන්වන්න ඉඩ දෙන්නේ නැහැ.

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා-

මම විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටිනවා කාමරයට වේලා ඉන්නේ නැතුව මේ කතාව අහගන්න එන්න කියලා. එතුමා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ සේවකයන්ගේ රැකියා ගැන කතා කළා. එතුමා මෙතෙන්ට ආවොත් මට ඒවට උත්තර දෙන්න තිබුණා. නිරෝෂන් මහත්මයා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස ද කතා කරන්නේ කියලා මට හිතාගන්න බැහැ. අද එළවළු ගැන කතා කරනවා. ඒ කාලේ ඒ දේවල් විනාශ කළා. හර්ෂ ද සිල්වා මහත්මයා ශක්ති සහල් ගැන කතා කරනවා. ඒ ශක්ති සහල් අය කළේ හර්ෂට සහ සජිත් මහත්වරුන්ට ඡන්දය කරපු එක. මම එය හැන්සාඩ් ගත කරනවා.

මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා-

මගේ කොන්දේ පණ තිබෙනවා. හමුදාවට හොඳට අණ දුන්නා. අවුරුද්දක් මගේ පුද්ගලික වාහනෙන් ගියේ.

රාජ්‍ය අැමැති ඉන්දික අනුරුද්ධ මහතා-

පාලිත තෙවෙරප්පෙරුම මහත්මයා කිව්වා කැලෑ සංරක්ෂණය කරනවා කියලා. හොටල් බුක් කරගෙන බාල් නටපු හැටි. නිවාස ඇමැතිවරයා පොස්ටර් ගහන්න අධිකාරියේ මුදල් කෝටි ගණන් වියදම් කළා. සජිත් මහත්මයට කියන්න කාමරේට වෙලා හැංගිලා ඉන්නේ නැතුව මේවට උත්තර දෙන්න කියලා. නිවාස සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබෙන සියලු ආයතන විනාශ කළා. මධ්‍යම සංස්කෘති අරමුදල නැත්තටම නැති කළා. ඉංජිනේරු සංස්ථාව සේවකයෝ 25 දෙනෙක් අබන්පොළ ඉඩමේ අඹ අහුලන්න ගිහින් දැම්මා. ඒ ඉඩම කාගේද කියලා කුරුණෑගල මන්ත්‍රීවරු දන්නවා.

මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මුලසුනට පැමිණියේය.

මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා (ස.ජ.බ.)-

ගොවියාට නොමිලේ පොහොර දෙනවා කියනවා. ඒ ගැන අපි දන්නේ නැහැ. අපනයනය ආදායමක් ලබා ගත හැකි ක්ෂේත්‍ර දෙකක් අපේ රටේ තිබෙනවා. ධීවර හා සංචාරක ක්ෂේත්‍ර දෙකෙන් මෙරටට අපනයන ආදායමක් උපයා ගත හැකියි. සංචාරක කර්මාන්තයට සුදුසු මාතෘ භූමියක් අපට ලැබී තිබෙනවා. ආණ්ඩුව කියන සුරංගනා කතාවලින් ඉවත් වෙලා මේවාට අවධානය යොමු කළ යුතුයි.

මන්ත්‍රී රාමක්‍රිෂ්ණන් මහතා-

වතුකර ජනතාවගේ වැටුප් ගැන කතා කරන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් තමයි ඒ ගැන වැඩිපුරම කතා කළේ. යහපාලන ආණ්ඩුව කාලයේ මැතිවරණයට පෙර ඔවුන්ගේ ඡන්ද පොරොන්දුවක් විදියට මේ රුපියල් 1000 දෙනවා කීවා. නමුත් වසර හතර හමාරක් පාලනය කළා .ඒ කාලය තුළ මේ වැඩි කිරීම කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ වතුකරයට මහින්දෝදය පාසල් ගෙනාවා. ගුරු පත් වීම් 3000 ක් දුන්නා.

මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා (ස.ජ.බ.)-

වරාය ගන්නා එපා කියලා එදා චීන තානාපති කාර්යාලයට අපි කෑගහලා කීවා. ජනතාව මුළා කරන්න හරි කෑගහලා එදා අපි කීවා. චීනයේ අය මේ නිසා මේ රටේ වැඩි වෙනවා. හිටපු වතු අධිකාරිවරයෙක් විදියට අය වැයෙන් ගෙන ඇති තීරණය ගැන මම සතුටු වෙනවා. හරි නම් වතු කම්කරුවාට රුපියල් 1500 ක්වත් දිය යුතුයි. රුපියල් 1000 ක් දෙනවා කියන එක හොඳ වැඩක්. අගමැතිවරයාට මම තවමත් ආදරය කරනවා.

මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා (පො.ජ.පෙ.)-

අද වන විට ඉඟුරු, කහවලට හොඳ මිලක් තිබෙනවා. ගෝඨාභය මහතා ජනාධිපති කරන විට වතු කම්කරුවාගේ වැටුප රුපියල් 1000 කරනවා කියා දුන් පොරොන්දුව අපි ඉටු කර තිබෙනවා. පසුගිය කාලයේ තිබූ අස්ථාවර දේශපාලනය නිසා මෙරටට ආයෝජන පැමිණියේ නැහැ. 19 වෙනස් කරලා ජනාධිපතිවරයාට අපි බලය දී තිබෙනවා. කොරෝනා උවදුර අවසන් කරන්න ජනාධිපතිතුමා පූර්ණ සහාය දෙනවා. ඉතාම හොඳ යෝජනා රැසක් මේ අය වැයේ සඳහන් වෙනවා. පසුගිය මාස තුනට අපි රටට ගොඩාක් දේවල් කළා.

මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා (ස.ජ.බ.)-

රටේ පුරවැසියන් පාලකයන්ගේ අඩුපාඩු පෙන්වා දෙන විට ඒ ගැන තරහා නොගෙන එම අඩුපාඩු පිළිගත යුතුයි. එමගින් පාලකයන්ට රට ඉදිරියට ගෙන යා හැකියි. සාම්ප්‍රදායික දේශපාලනයට වඩා නූතනවාදී ධනාත්මක ක්‍රමයක් අපට අවශ්‍ය වෙනවා. බෙදුම්වාදී ආකල්ප මෙරටට සුදුසු නොවේ. ජනතාවගේ දැවෙන ප්‍රශ්නයන්ට පිළිතුරු ලබාදිය යුතුයි. රටක නායකයන්ට පුළුල් දැක්මක් අවශ්‍යයයි.

පත් කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය (ස.ජ.බ)-

කොරෝනා වයිරසයෙන් මෙරට ජනතාව සුරක්ෂිත කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා අය වැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම තුළින් මෙරට ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. හොඳ ආදායමක් ලබා ගත හැකි කෘෂිකර්මයක් අප සතුයි. ගොවියා වස පානය කර අන්ත අසරණ වන තත්ත්වයක් පසුගිය කාලයේ අපි දැක්කා. ගොවියා අසරණ කරමින් පිටරටින් ගම්මිරිස් පවා ආනයනය කළ විදිය ජනතාවට මතකයි. ඒ සියලු දේ නතර කර දේශීය ගොවියා ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා ගෙන තිබෙන පියවර ගැන සතුටු විය යුතුයි.

මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා (පො.ජ.පෙ.)-

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි නිසා මේ සභාව තුළ අපට කතා කරන්න ලැබෙන කාලය ඉතා සීමිතයි. ඒ ගැන අපි සතුටු විය යුතුයි. ලංකා ඉතිහාසයේ වැඩිම නියෝජිතයන් පිරිසක් සිටින කණ්ඩායමක් නිසා තමයි අපට කතා කරන්න කාලය අඩු වෙලා තිබෙන්නේ. ආණ්ඩුව මේ ගෙන යන වැඩපිළිවෙළ ගැන අපි සතුටු විය යුතුයි. රට ඉදිරියට ගෙන යෑමට හැමෝම එක් විය යුතුයි. පසුගිය ආණ්ඩුවේ අය ජනතාවට යුතුකම් ඉටු කළේ නැහැ. යුතුකම් ඉටු කළ හැකි නායකයා රටට පහළ වී සිටිනවා.

රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා-

අපගේ ජයග්‍රහණය සඳහා සහාය ලබාදුන්න ජනතාවට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අද 2021 අය වැය යෝජනාව ඉදිරිපත් කරලා මේ විවාදයට ගන්නා මොහොතේ අපි දන්නවා අපිට ආණ්ඩුව බාරගන්න විට ලැබුණේ මේ රටේ ජාතික ආරක්ෂාව විනාශ කරපු රටක්. ඒ වගේම අපේ රටේ ආර්ථිකය විනාශ කරපු, රටේ ඒකපුද්ගල ආදායම අඩු කරපු රටක්.

මන්ත්‍රී ඉසුර දොඩම්ගොඩ මහතා (පොජපෙ)-

අපේ රටේ ඉතිහාසයේ තීරණාත්මක අවධියක ඉදිරිපත් කළ අය වැයක්. මුල් කාර්තුවේ අපේ රටේ ආර්ථිකය සංකෝචනයකට ලක්වුණා 2019, ලෝක ආර්ථිකය ගත්තත් මේ වර්ෂයේදී 2.8% වර්ධනයට සාපේක්ෂව, 2020 වර්ෂයේදී ගෝලීය ආර්ථික වර්ධනය 4.7% න් සංකෝචනය වනු ඇති බවට මේ වෙනකොට පුරෝකථනයන් ඉදිරිපත් වෙලා තියෙන්නේ.

මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න (සජබ)-

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අය වැය තුළ තිබෙන්නේ සුන්දර වචන ගොඩක් විතරයි. කොවිඩ් වසංගතය ගැන කතා කළා. නමුත් ඒ වෙනුවෙන් සිදු කර ඇති වෙන් කිරිම මොකක්ද. කොරෝනා සමඟ ජන ජීවිත ගොඩනැඟීම සඳහා යෝජනා කිසිවක් මේ අය වැය තුළ නැහැ. සංචාරක කර්මාන්තය අද කඩා වැටිලා.

මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා(පොජපෙ)-

සජිත් ප්‍රේමදාස මහතා ෆේල් තමයි. එතුමා ෆේල් කියලා දිලිප් වෙදආරච්චි මහතාත් කිව්වා. සජිත් ප්‍රේමදාස මහතා නිවාස වැඩසටහන් කිහිපයක් සිදු කළා. නමුත් වැඩි වශයෙන් සිදු කළේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට පියවර ගැනීමයි. සමස්ථ ජනතාව කෙරෙහිම අවධානය යොමුකරමින් මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ජනතාව වෙනුවෙන් නිවැරදි බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා.

මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා (පොජපෙ)-

2015 දී අපි රට භාර දෙන කොට අයවැය හිඟය සියයට 5.4 යි. 2019 දී අපට රට ලැබෙන කොට අය වැය හිඟය සියයට 9.6 යි. 2019 අය වැය දෙස බලනකොට යහපාලන ආණ්ඩුව පට්ටපල් බොරුවක් කරලා තියෙන්නෙ. රුපියල් බිලියන 988 ක බොරුවක් කරලා තියෙනවා.

2021 අය වැයෙන් පුනරාවර්ථන වියදම් ඉහළ දාලා තියෙනවා. ඒවගේම මූලධන වියදම් පවා ඉහළ දාලා තියෙනවා. සමස්තයක් ලෙස බලනකොට රුපියල් බිලියන 413 කින් අය වැය ඉහළ දාලා තිබෙනවා.

රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා-

අද විපක්ෂය කතා කරන මූලිකම කාරණාව විදෙස් ණය. මේ ණය කන්දරාව නිසා ආර්ථිකය කඩා වැටෙනවා කියනවා. අපි පසුගිය කාල සීමාවෙත් ආණ්ඩුවේ සිටියා. අපි යථාර්ථයට මුහුණ දිය යුතුයි. ලෝකයේ හැම රටක්ම ණය ගන්නවා. ණය අපි විතරක් ගන්න දෙයින් නොවෙයි. ආදායම් අඩු වෙන කොට ණය ගන්න සිදු වෙනවා. මේ වසරේ ගෙවන්න තිබෙන ණයවලින් විශාල ණය ප්‍රමාණයක් ගෙවා අවසන්. ඒ වගේම ඒ සුළු ප්‍රමාණය ගෙවා අවසන් වුණාම මේ වසර වෙනුවෙන් ගෙවීමට ණය ප්‍රමාණය අපි ගෙවා අවසන්. අපි නිෂ්පාදන ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා. විපක්ෂය විසින් විවිධ චෝදනා එල්ල කරනවා. අපි ආනයන සීමා කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. රට ඇතුළේ හදාගන්න පුළුවන් සියල්ල අපි රට තුළ හදා ගත යුතුයි.

මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා (සජබ)-

මේ දිනවල මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුට එන්න දෙන්නේ නැහැ.ඊයේ දිනයේදීත් පාර්ලිමේන්තු විවාදය අතරතුර විකාශන කටයුත්ත ඇණ හිටියා. ඒ දර්ශන මාධ්‍යයට නිකුත් කළා ද කියා දැනගන්න කැමතියි.මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවට එන්න දෙන්න බැරි ඇයි. මාධ්‍යවේදීන්ට දුරින් දුරින් වාඩි වෙන්න පුළුවන්.මීටරයේ පරතරය පවත්වාගන්න පුළුවන්. මේ විවාදය දෙපාර්ශ්වයටම වැදගත්.

මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතා (සජබ)-

කොවිඩ් 19 යටතේ මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවට එන්න දෙන්නේ නැහැ කියන එක අසත්‍යයක්. මාධ්‍යවේදීන් පාර්ලිමේන්තවට ගෙන්විය යුතුයි. අය වැය වගේ විවාදයකදී මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. කොවිඩ් 19 හේතුවෙන් මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට කැඳවන්නේ නැහැ කියන්නෙ කොහොමද. අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේදී විදෙස් නියෝජිතයන් අසුන්ගෙන හිටියේ කොහොමද.

මන්ත්‍රී ජගත් පුෂ්ප කුමර මහතා (පොජපෙ)-

මෙවර අය වැය මඟින් සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම දේශීය ආර්ථිකය ශක්තිමක් කිරිම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අගය කළ යුතුයි.

මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා (පො.ජ.පෙ.)-

ජාතික ආර්ථිකය පදනම් කර ගත් අයවැයක් අද ඉදිරිපත් කර තිබෙනවා. තරුණ තරුණියන් මේකෙන් රවටලා නැහැ. බලය ගැනීමට පෙර සෑම ගමකටම යාමට බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු කළා. මේ ආණ්ඩුව අරගෙන අදට මාස තුනයි. දෙසැම්බර් 10 වැනිදාට පසුව ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ නැවත ක්‍රියාත්මක වෙන්න තීරණය කර තිබෙනවා.

මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා (පො.ජ.පෙ.)-

සාර්ථක අය වැය ලේඛනයක් ඉදිරි වසර සඳහා ඉදිරිපත් කිරීම ගැන මහින්ද රාජපක්ෂ මහතාට අපගේ ස්තුතිය පිරිනමනවා. රටේ ජනතාවට ලබාදුන් බදු සහන ඉදිරි කාලය තුළදීත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මේ අය වැය ලේඛනයේ සඳහන් කර තිබෙනවා. බදු සහන ලබාදෙමින් මෙරට නිෂ්පාදන ආර්ථික ඉහළ නැංවීමට කටයුතු කිරීම ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි.

මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා (පො.ජ.පෙ.)-

හැමදාම කොළඹ සීත කාමරවලට වෙලා හැදූ අය වැය වෙනුවට අපේ මේ අය වැය ගම සමඟ පිළිසඳරක් යටතේ හැදූ අය වැයක්. විපක්ෂය අද රන් කරන්නේ සමාජ මාධ්‍ය මඟින්. ආණ්ඩුවට ෆේල් ෆේල් කියා ඇවිදින්න විතරයි විපක්ෂය දන්නේ.

මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා (පො.ජ.පෙ.)-

නිෂ්පාදන ආර්ථික සංවර්ධනය කර ගත හැකි නම් කොවිඩ්වලින් පසුව එළැඹෙන ලෝකයට ශක්තිමත්ව අපට මුහුණ දිය හැකියි. ඒ ශක්තිය අප ආණ්ඩුව සතුයි. මාර්ග සෑදීමේ කිලෝමීටර් ලක්ෂයක් සෑදීම ගැන අපි කතා කරනවා. මාතලේ දිස්ත්‍රික්කයටත් එය වැදගත්.

මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා (පො.ජ.පෙ.)-

උසාවියකදී වුණත් දඩ නියම කරන විට නියම කරන්නේ පෙර වැරදි ගැන බලලා. පෙර වැරදි රැසක් යහපාලන ආණ්ඩුවෙන් සිදු කළා. මහ බැංකු කොල්ලය අපට අමතක කළ නොහැකියි. රටේ ආර්ථිකය පහළට ඇද දැමීමට මූලික අඩිතාලම දැම්මේ මහ බැංකු කොල්ලයෙන්. දේශපාලන නායකයන් සිරගත කරන්න යහපාලන ආණ්ඩුව කටයුතු කළා.

මන්ත්‍රී මුදිතා ප්‍රශාන්ති මහත්මිය (පො.ජ.පෙ.)-

කොවිඩ් ව්‍යසනය තිබුණත් පක්ෂ පාට භේදයකින් තොරව රුපියල් 5000 දීමනාව ජනතාවට ලබාදීමට පියවර ගත්තා. ග්‍රාමීය පාරවල් කාපට් වෙයි කියලා ජනතාව හිතුවේ නැහැ. නමුත් අපේ ආණ්ඩුව යටතේ ඒ දේ සිදු කරනවා. පානීය ජලය 429,000 ක් ජනතාවට ලබා දීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. නිවාස ව්‍යාපෘති ඉතා හොඳින් ක්‍රියාත්මක කරනවා.

මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (පො.ජ.පෙ.)-

යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය තමයි මේ රටේ ආර්ථිකය නැති කරන්න කටයුතු කළේ. අය වැයකදී හැමෝම සතුටු කරන්න බැහැ. තිරසාර කල්පවත්නා ආර්ථිකයක් සඳහා තමයි අය වැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ. ආදායමට වඩා වියදම වැඩි නම් හිඟ අය වැයක් ඇති වෙනවා.

මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා (ස.ජ.බ.)-

පසුගිය කාලයේ සාමාන්‍ය පෙළ ෆේල් මන්ත්‍රීවරුන් 95 ක් සහ උසස් පෙළ ෆේල් මන්ත්‍රීවරුන් 125 කුත් ඉන්නවා කියලා බුද්ධික පතිරණ මහතා කීවා. මම නම් ඒක අහලා ගිහින් විභාගේ ලියලා පාස් වුණා. පාස් ෆේල් ගැන මෙහි කතා වුණ නිසා මම මේ දේ කීවේ. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මාධ්‍යයට තමයි කතා කළේ.

මන්ත්‍රී නලින් රුවන්ජීව මහතා (පො.ජ.පෙ)-

ගම්පහ දිස්ත්‍රික්කය කොරෝනා නිසා හුදකලා කරලයි තිබෙන්නේ. ඒ ප්‍රදේශයේ ජනතාවට සහන ලබා දුන්න රජයටත් එහි නිලධාරීන්ටත් මගේ ස්තූතිය පුදකර සිටිනවා. අපිට විතරක් නොවෙයි මේ වසංගතය ලෝකයට බලපාලා තිබෙනවා. මේ විපක්ෂය ආණ්ඩු පක්ෂයේ සිටියදී ආර්ථිකය ගෙන ගියේ කොහොමද කියලා ජනතාව දැනගත යුතුයි.

මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා-

අපි තමයි දඹුල්ලේ පළමු ශීතාගාරය විවෘත කළේ. බොරු කියන්න එපා.

මන්ත්‍රී රෝහණ දිසානායක මහතා (පො.ජ.පෙ)-

රන්ජන් රාමනායක මහත්මයා කියනවා 1994 න් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් හිටියේ නැහැ කියලා. මම හිතන්නේ ඒ ජනතාවගේ වාසනාවට.

දඹුල්ලේ ශීතාගාරයක් හැදුවලු. හැබැයි එය සාර්ථක නැහැ. එය යළි ගොඩ ගන්න අපි කටයුතු කරමින් ඉන්නවා. මෙය මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් හදපු ප්‍රශස්ථ අය වැයක් කියන එක ඕනෑම කෙනකුට අවබෝධ කරගත හැකියි.

මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මුලසුනට පැමිණියේය.

මන්ත්‍රී සමන්ප්‍රිය බණ්ඩාර නායක මහතා (පො.ජ.පෙ)- කිරිඇල්ල මහත්මයා හැත්තෑවේ යුගය ගැන කතා කළා. බණ්ඩාරනායක මැතිනිය කාලේ තිබුණ සංවෘත ආර්ථිකය හැත්තෑ හතේ විවෘත ආර්ථිකයෙන් කුඩුපට්ටම් කළා. අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් මුට්ටියක් ගැන කතා කරනවා. හැබැයි අද ඉන්න විපක්ෂ නායකවරයගේ පියා කන්‍යවියන් හත්දෙනෙක් කිරි කල වලින් නෑව්වා. ඒ දේවල් සමහරුන්ට මතක නැති වුණාට ජනතාවට ඒ දේවල් තාමත් මතකයි.

පාර්ලිමේන්තුව යළි අද උදේ 9.30 ට රැස්වේ.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

 

නව අදහස දක්වන්න