ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු ක්‍රමයේ වෙනසක් | දිනමිණ

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු ක්‍රමයේ වෙනසක්

ඉන්දියාව දෙකට දමා ඔස්ට්‍රේලියාව පෙරට

ශ්‍රී ලංකාවට  6 වැනි  තැනමයි

ජගත් ක්‍රිකට් කවුන්සිලය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පසුගිය වසරේ හඳුන්වා දුන් අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල විය.

රටවල් 9ක සහභාගිත්වයෙන් ලීග් ක්‍රමය යටතේ තරගය 71ක් පවත්වා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක ලබන වසරේ අවසන් මහා තරගයට එක් කිරීමට සැලසුම් කර තිබුණ ද මේ වන විට තරගාවලි රැසක් කල් දැමීමට සිදුව තිබේ.

මේ හේතුවෙන් අයිසීසී සැලසුම් කළ පරිදි අවසන් මහා තරගය පැවැත්වීමට නොහැකි වන බැවින් සහ කොරෝනා බලපෑම හේතුවෙන් තරගාවලි සඳහා සිදු වූ බලපෑම සැලකිල්ලට ගනිමින් ප්‍රසාද ලකුණු ක්‍රමය වෙනස් කිරීමට අනිල් කුම්බ්ලේගේ නායකත්වයෙන් යුත් අයිසීසී ක්‍රිකට් කමිටුවේ නිර්දේශ අයිසීසී මණ්ඩලය අනුමත කළේය. මේ දක්වා ලෝක ශූරතාවලිය යටතේ ක්‍රීඩා කර ඇත්තේ තරග 50%කටත් අඩු ප්‍රමාණයකි. තරගාවලිය නිමා වන විට තරගාවලි 85%ක වඩා ක්‍රීඩා කිරීම අයිසීසී අපේක්ෂාව වී තිබේ.

කොරෝනා වංසගතය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලි 2ක් අහිමි විය. ඒ පසුගිය මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත පිලේ මෙරට සංචාරය (තරග 2යි) සහ පසුගිය මාසයේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශ කණ්ඩායමේ (තරග 3යි) සංචාරයයි. එංගලන්තය ලබන වසරේ ජනවාරි මස එම සංචාරය පිළිබඳ යළිත් බලාපොරොත්තු තබා තිබේ.

මේ ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඇත්තේ දකුණු අප්‍රිකා (තරග 2) සහ බටහිර ඉන්දීය කොදෙව් තරග (තරග 2) සංචාරයන්ය. මෙහිදි ශ්‍රී ලංකා පිල ලබන දෙසැම්බර් 17 වැනිදා දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භ කිරීමට නියමිතය.

බංග්ලාදේශ - ඔස්ට්‍රේලියා, බංග්ලාදේශ - නවසීලන්ත, බංග්ලාදේශ - පාකිස්තාන (එක් තරගයක්) සහ බටහිර ඉන්දීය කොදෙව් - දකුණු අප්‍රිකා තරගාවලි ද කොරෝනා හේතුවෙන් කල් දැමිණි.

ඒ අනුව කණ්ඩායම් මේ ශූරතාවලිය යටතේ ක්‍රීඩා කරන තරග සංඛ්‍යාවෙන් රැස් කර ගන්නා ලකුණු ප්‍රතිශතය මත පදනම්ව ලබන වසරේ ජුනි මාසයේ පැවැත්වීමට නියමිත අවසන් තරගයට කණ්ඩායම් තෝරා ගැනීම සිදු කෙරේ.

ඒ ඒ කණ්ඩායම් ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඔවුන් තරග කර ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් බෙදා සියයෙන් ගුණ කිරීමෙන් ලකුණු ප්‍රතිශතය සකස් කරයි. කෙසේ වෙතත් තරගාවලියක් සඳහා ලබා දෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාවේ (120) වෙනසක් සිදුව නැත.

මේ නව ක්‍රමවේදය අනුව පළමු ස්ථානයේ පසු වූ ඉන්දියාව දෙවැනි ස්ථානයට දමමින් ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයට පත්ව තිබේ. ඉන්දියාව ලකුණු 360ක් ලබා සිටියේ ලකුණු 480ක් වෙනුවෙන් තරග කරමිනි. සංශෝධිත ක්‍රමය අනුව 360 ලකුණු 480න් බෙදා 100කින් (360/480 x100) වැඩි කළ යුතුය.

ඒ අනුව ඉන්දියාවේ ලකුණු ප්‍රතිශතය (360/480 x 100) 75%ක් වන අතර, ඔස්ට්‍රේලියාව 82.2%ක් (296/360 x 100) ලබා සිටී.

මේ කණ්ඩායම් දෙක පමණක් ස්ථාන වෙනස්ව ඇති අතර, අනෙකුත් කණ්ඩායම් ඒ ඒ ස්ථානවලම රැඳී සිටී. ඒ අනුව මීට පෙර 6 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව සංශෝධන ලකුණු ප්‍රතිශතය 33.33 මත (80/240x100) ද එම ස්ථානයේම පසු වෙයි.

එංගලන්තය, නවසීලන්තය හා පාකිස්තානය ශ්‍රී ලංකාව ඉදිරියෙන් පිළිවෙළින් 3, 4 සහ 5 වැනි ස්ථානවල පසු වන අතර, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය 7 වැනි ස්ථානයේ සිට 9 වැනි තැන දක්වා රැඳී සිටිති.

නව අදහස දක්වන්න